Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර - සී.එච්. රග්බි සංගමයට පිටුපාති
ක්ලිෆර්ඩ් කුසලාන - 2023

මහනුවර - සී.එච්. රග්බි සංගමයට පිටුපාති

editorial - 2023 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

අන්තර් සමාජ රග්බි ලීගයේ ශූරයන් බවට පත්වූ මහනුවර ක්‍රීඩා සමාජය සහ එහි අවසන් ස්ථානයට පත්වූ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අවසන් මොහොතේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයට යළිත් වරක් ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ තරග සැකැස්ම වෙනස් කිරීමට සිදුවිය. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට සහ නාවික හමුදාවට මූලික වටයේදී නිතරග ජය ලබා අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදා විය.

පෙර පැවැති තරග සැකැස්මට අනුව මූලික වටයේ පළමු තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය තරග වැදීමට නියමිතව තිබිණ. එහෙත් එම කණ්ඩායම් දෙකම තරගාවලියෙන් ඉවත්වීමට පියවර ගැනීම හේතුවෙන් සෙසු කණ්ඩායම් 6 අතරින් අවසන් පූර්ව වටයට කණ්ඩායම් 4 ක් තෝරාගැනීම සඳහා මූලික වටයේදී කණ්ඩායම් දෙකකට නිතරග ජය ලබාදීමට තරග සංවිධායකයන්ට සිදුවිය.

ඒ අනුව මූලික වටයේදී තරග 2 ක් පමණක් පැවැති අතර එහිදී ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 22-17 ක ජයක් ලබා පොලිසියද, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 39-17 ක ජයක් ලබා යුද හමුදාවද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. අවසන් පූර්ව වටයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිසිය මාර්තු 1 වැනිදාද, නාවික හමුදාවට එරෙහිව යුද හමුදාව මාර්තු 2 වැනිදාද තරග බිමට පිවිසීමට නියමිතය.

2000 වසරේ සිට 2005 වසර දක්වා පිට පිටම 6 වරක්ද, 2007 වසරේ සිට 2012 වසර දක්වා පිට පිටම 6 වරක්ද, 2015 වසරේ සිට 2018 වසර දක්වා පිට පිටම සිවුවරක්ද බැගින් 2000 වසරේ සිට මේ දක්වා පැවැති පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි 19 න් 16 කම ශූරතාවන් දිනාගනු ලැබ ඇත්තේ මහනුවර ක්‍රීඩා සමාජය විසිනි. 2014, 2020, 2021 සහ 2022 යන වසරවලදී මෙම තරගාවලිය පවත්වා නොමැත.

කෙසේ වුවත් මහනුවර ක්‍රීඩා සමාජය පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් ඉවත්ව ඇති පළමු අවස්ථාව මෙය නොවන බවත්, මින් පෙරද ඔවුන් මේ ලෙසම අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත්ව ඇති බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ලීග ශූරයන් බවට පත්ව සිටියදී, මධ්‍යස්ථ ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් පරාජයට පත්වුවහොත් එය ඔවුන්ගේ කීර්ති නාමයට කැළැලක් වේ යැයි සිතා මහනුවර ක්‍රීඩා සමාජය මෙම තරගාවලියෙන් ඉවත් වන්නට ඇතැයි තමා අනුමාන කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.

“එයාලා (මහනුවර ක්‍රීඩා සමාජය) අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා නුවර තියෙන තරග ටික නිත්තවෙල ක්‍රීඩාංගණයේ පවත්වන්න කියලා. ඒත් අපි ඒ ඉල්ලීමට එකඟ වුණේ නෑ. මොකද එහෙම කළොත් අනිත් කණ්ඩායම ටිකත් කියයි කොළඹ තියන තරග එයාලට ඕන ක්‍රීඩාංගණවල පවත්වන්න කියලා. මේ තරගාවලිය පවත්වන්නෙ මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල කියලා අපි කලින් තියාම ක්‍රීඩා සමාජවලට දැනුම් දීලයි තිබුණෙ. ක්‍රීඩා සමාජ කියන විදියට තීරණ වෙනස් කරන්න අපිට බැහැ” යැයි එම නිලධාරීයා පැවසීය.

කෙසේ වුවත් මෙම ක්‍රීඩා සමාජ දෙකේ ඉවත්වීම මත අවසන් මොහොතේ තරග සැකැස්ම වෙනස් කිරීමට සිදුවීමෙන් තරගාවලියේ සංවිධායක කමිටුව මහත් අසීරු තාවකට මුහුණදුන් බවත්, එබැවින් අදාල ක්‍රීඩා සමාජ දෙකට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට රග්බි විධායක කමිටුව පියවර ගන්නා බවත් උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 


අදහස් (0)

මහනුවර - සී.එච්. රග්බි සංගමයට පිටුපාති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.