Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පිලිපීන ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව සිවුවැනි තැනට
ආසියානු සත් සාමාජික රග්බි

පිලිපීන ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව සිවුවැනි තැනට

editorial - 2022 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර සිට..)

තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී පිලිපීනය හමුවේ ලකුණු 24-07 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදිය‍රේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ලකුණු 07-07 ක් ලෙස ව‍රෙක පිලිපීනය සමග සම තත්ත්වයේ පසුවූ ශ්‍රී ලංකාව, තරගයේ අවසන් භාගයේදී පිලිපීන ක්‍රිඩකයන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ යම් පසුබෑමකට ලක්විය.

දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර නම්දොන් ඒෂියාඩ් රග්බි ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (12 වැනිදා) සහ (13 වැනිදා) පැවැති මෙම තරගාවලිය සඳහා රටවල් 8 ක් සහභාගි වූහ. අවසන් මහ තරගයේදී ලකුණු 19-12 ක් ලෙස සත්කාරක දකුණු කොරියාව පරාජය කළ හොං කොං රාජ්‍ය තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගත්තේය. එහි පළඟ ශූරතාවට හිමිකම් කීමට චීනය සමත් වූයේ අවසන් තරගයේදී ලකුණු 31-21 ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමිනි.

පළමු දිනයේ (12 වැනිදා) පැවැති මූලික වටයේ පළමු තරගයේදී හොං කොං කණ්ඩායම හමුවේ හමුවේ ලකුණු 40-00 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, ඉන් අනතුරුව පැවැති තරගවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 26-14 ක් ලෙසද, චීනයට එරෙහිව ලකුණු 21-19 ක් ලෙසද ජයග්‍රහණ වාර්තා කරමින් තරගාවලියේ කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට අවස්ථාව උදාකර ගත්තේය.

කෙසේ වුවත් කුසලාන ශූරතාව සඳහා පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 31-14 ක් ලෙස දකුණු කොරියාව හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට, තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනු‍වෙන් පිලිපීනයට එරෙහිව තරග වැදීමට සිදුවිය. පිලිපීනයට තෙවැනි ස්ථානය සඳහා තරග වැදීමට සිදුවූයේ හොං කෙ‍ාං කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය ලකුණු 17-00 ක් ලෙස පරාජය වීම හේතුවෙනි.

තෙවැනි ස්ථානය සඳහා පිලිපීනයට එරෙහිව පැවැති තරගයේ පළමු විනාඩියේදීම උත්සාහක දිනුම් වාර්තා කළ නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් මිතුන් හපුගොඩ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. කෙසේ වුවත් පිලිපීන ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශය හමු‍වේ ශ්‍රී ලංකාවට වැඩි‍ වේලාවක් තරගයේ පෙරමුණ රැක ගෙන සිටීමට නොහැකි විය.

සිවුවැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් හැරිසන් ‍බ්ලේක් සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් කායි ස්ට්‍රෝම් ලකුණු තත්ත්වය 07-07 ක් බවට පත්කරමින් පිලිපීනයට ශ්‍රී ලංකාව හා සම වීමට අවස්ථාව උදාකර දුන්හ. පළමු අර්ධයේ අවසන් විනාඩියේදී තවත් උත්සාහක දිනුමක් ලබාගත් ‍ඩොනල්ඩ් කෝල්මන්, එම අර්ධය නිමාවට පත්වන විට ලකුණු 12-07 ක් ලෙස සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවේය.

දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන් පිලිපීන ක්‍රීඩකයෝ තරගයේ 11 වැනි සහ 13 වැනි විනාඩිවලදී තවත් උත්සාහක දිනුම් දෙකක් ලබාගැනීමට සමත් වූහ. ජෙරම් රූඩර් සහ නිකලස් රොබට්සන් පිලිපීනය වෙනුවෙන් එම උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් දෙවැන්නේ වැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ කායි ස්ට්‍රෝම් විසිනි.

තරගයෙන් අනතුරු අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර කියා සිටියේ තරගාවලි‍යේ පළමු කණ්ඩායම් 4 අතරට එක්වීමට හැකි වීම සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස සතුටට පත්විය හැකි නමුත්, කොරියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය ජයගෙන අවසන් තරගයට පිවිසියා නම් එම සතුට දෙගුණ තෙගුණ වීමට ඉඩ තිබූ බවය.

“ඇත්තටම අපේ හුඟක් උත්සාහ කළා කොරියාව පරාද කරලා අවසන් තරගයට සුදුසුකම් ලබන්න. ඒත් ඒ තරගයෙදි අපේ අතින් පෙ‍ාඩි පොඩි අත්වැරදීම් වුණා. අපිට බැරිවුණා පන්දුව වැඩි වෙලාවක් අපි ලඟ තියාගන්න. එයාලා (‍කොරියානු ක්‍රීඩකයෝ) එ‍්කෙන් ප්‍රයෝජන ගත්තා. තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගය ගැන කියනවා නම් පිලිපීනය හුඟක් අවේගශීලි ‍විදියට ක්‍රීඩා කළේ. එයාලා අපිවත් ඒ තත්ත්වෙට පත්කරගන්න උත්සාහ කළා. කණගාටුවකට වගේ අපි ඔවුන්ගෙ උගුලට අහුවුණා.” යැයි සූරියබණ්ඩාර කියා සිටියේය.

තරගයේ පළමු දිනයේදී අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේද, දෙවැනි දිනයේදී අධික සීතලක් සහිත කාලගුණික තත්ත්වයක් යටතේ තරග පැවැත්විණ. එවැනි තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මහත් අපහසුතාවට පත්වූ නමුත්, එය තරග පරාජය වීම සඳහා නිදහසට කරුණක් කර නොගන්නා බව ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපිට මේ සීත කාලගුණයට හුරු වෙන්න කාලයක් ලැබුනෙ නෑ.‍ මෙහෙට ඇවිත් එක පුහුණු සැසියක් විතරයි තියන්න පුළුවන් වුණේ. පොඩි පොඩි වැරදි කිහිපයක් සිදුවුණත් සමස්තයක් විදියට ගත්තාම අපි හුඟක් හොඳට මේ තරගාවලිය ක්‍රීඩා කළා. මේ තරගාවලියේදි ලැබූ අත්දැකීම් පන්නරයක් කරගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි පැවැත්වෙන ‍තුන්වැනි අදියර සඳහා සූදානම් වීමට බලාපොරොත්තු වෙනවා.” යැයිද සූරියබණ්ඩාර එහිදී පැවසීය.


අදහස් (0)

පිලිපීන ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව සිවුවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.