Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් ප්‍රහාරය මැද යුද හමුදාවේ 7 කට දැඩි අවවාද
රග්බි ලීගය

ගුවන් ප්‍රහාරය මැද යුද හමුදාවේ 7 කට දැඩි අවවාද

editorial - 2023 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ වටය යටතේ අද (3 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් යුද හමුදාවට එරෙහිව ලකුණු 27-16 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. මෙම තරගයේදී යුද හමුදා ක්‍රීඩකයන් 7 දෙනෙක් විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබීම කැපී පෙනෙන සිදුවීමක් විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 13-11 ක් ලෙස පෙරමුණේ පසුවූ ගුවන් හමුදා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 14 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. පළමු අර්ධයේදී ගුවන් හමුදාවට වඩා ලකුණු 2 ක් පසුපසින් සිටි යුද හමුදාවට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේද ලකුණු 5 ක් පමණි.

පළමු අර්ධයේදී දඬුවම් පහර 2 ක් සහ ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළ ගුවන් හමුදා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත්හ. පළමු අර්ධයේදී දඬුවම් පහර 2 ක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු ලබාගත් යුද හමුදා කණ්ඩායම, දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සමගිනි.

දුනාල් ප්‍රනාන්දු 39 වැනි විනාඩියේදීද, දෙනුවන් ලක්රන්ද 70 වැනි විනාඩියේදීද, සුදත් බණ්ඩාර 77 වැනි විනාඩියේදීද ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 3 හිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගත් නුවන් පෙරේරා, ඉන් නොනැවතී ගුවන් හමුදාවට හිමිවූ දඬුවම් පහර දෙකක්ද (4 වැනි සහ 27 වැනි විනාඩිවල) සාර්ථක කරගත්තේය.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් මනෝජ් කුමාර 31 වැනි විනාඩියේදීද, සුදාරක දික්කුඹුර 49 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට නොහැකි වුවද, යුද හමුදාවට 9 වැනි සහ 25 වැනි විනාඩිවලදී හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගැනීමට චමත් ප්‍රනාන්දු සමත් විය.

මෙම තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ ජේසන් කරුණාරත්න (41 වැනි විනාඩියේදී) ද, යුද හමුදා කණ්ඩායමේ විනෝද් කුමාර් (16 වැනි විනාඩියේදී), කවිඳු අමරසිරි (39 වැනි විනාඩියේදී), සුදාරක දික්කුඹුර (60 වැනි විනාඩියේදී), ලසන්ත කුමාර (65 වැනි විනාඩියේදී), මනෝජ් කුමාර (67 වැනි විනාඩියේදී), අෂාන් බණ්ඩාර (79 වැනි විනාඩියේදී), නාලක මධුරංග (79 වැනි විනාඩියේදී) ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)

(ඡායාරූප - ප්‍රදීප් දිල්රුක්ෂණ)


අදහස් (0)

ගුවන් ප්‍රහාරය මැද යුද හමුදාවේ 7 කට දැඩි අවවාද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.