Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කසකස්තානය - හොංකොං පරාජය කිරීම ප්‍රධාන ඉලක්කයයි
ආසියානු සත් සාමාජික රග්බි

කසකස්තානය - හොංකොං පරාජය කිරීම ප්‍රධාන ඉලක්කයයි

editorial - 2022 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී කසකස්තාන සහ හොංකොං කණ්ඩායම් පරාජය කිරීම තම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ බව ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු සාලිය කුමාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින අතර කසකස්තානය, හොංකොං සහ චීනය එම කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු රටවල් වේ. මැලේසියාව, ජපානය, තායිලන්තය සහ පිලිපීනය ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

“තරගාවලිය වෙනුවෙන් අපි සති 3 ක පමණ කාලයක් පුහුණුවීම් කළා. මූලික වටයේදී කසකස්තානය සහ හොංකොං කණ්ඩායම පරාජය කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නෙ. අපිට හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා. ඒත් අපිට කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බෑ.” යැයි සාලිය මහතා පැවැසීය.

යම් හෙයකින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර පළමු 4 දෙනා අතරට එක් වෙමින් කුසලාන ශූරතාව සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි වුවහොත්, කණ්ඩායමේ ඊළඟ ඉලක්කය වන්නේ ඉකුත් වසරේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් ගිළිහී ගිය පළඟ ශූරතාව නැවතත් හිමිකර ගැනීම බවද සාලිය මහතා කියා සිටියේය.  

“පහුගිය ටිකේම ශ්‍රී ලංකාව තමයි මේ තරගාවලියේ පළඟ ශූරියන් වුණේ. ඒත් අවාසනාවකට ගිය අවුරුද්දෙ අපිට ඒක අහිමිවුණා. ඒ තරගාවලියෙදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය වුණ ක්‍රීඩිකාව තමයි මේ තරගාවලියෙදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ. පළවෙනි 4 දෙනා අතරට එන්න බැරි වුණොත් පළඟ ශූරතාව දිනාගැනීම තමයි අපේ ඊළඟ බලාපොරොත්තු වෙන්නෙ.” යැයිද සාලිය මහතා පැවසීය.

පසුගිය ජූලි සහ අගෝස්තු මාසවල එංගලන්තයේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා රග්බි ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 5 දෙනකුට මෙම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී ඇත. ඔවුන් වෙනුවට වෙනත් ක්‍රීඩිකාවන් සිවුදෙනකු කණ්ඩායමට කැඳවා සිටිති.

අනූෂා අත්තනායක, අනුෂිකා තුෂාරි, ජීවන්ති තුසිතා, සන්දිකා හේමකුමාරි සහ නිපුනි රසාංජලී එලෙස විවිධ හේතූන් මත කණ්ඩායfමේ ස්ථාන අහිමිවූ ක්‍රීඩිකාවන් වන අතර දිලානි පොල්හේවගේ, චමෝද්‍යා මධුමාලි, රන්දිකා කුමුදුමාලි සහ තනූජා වීරක්කොඩි කණ්ඩායමට අලුතින් එක්වූ ක්‍රීඩිකාවෝ වෙති.

කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩිකාවන් අතරින් තනූජා වීරක්කොඩි ආබාධ තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි මෙම තරගාවලියේදී යළිත් තරග බිමට පිවිසීමට සූදානමින් සිටින්නීය. අවසන් වරට පැවැති ශ්‍රී ලංකා සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූ චමෝද්‍යා මධුමාලි ජාත්‍යන්තර තරගාවලියකට සහභාගිවන පළමු අවස්ථාව මෙය වනු ඇත.

ශ්‍රී ලංකා රග්බි සංගමයට එරෙහිව පවතින ජාත්‍යන්තර තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඔක්තෝබර් මස 22 වැනිදා සහ 23 වැනිදා තායිලන්තයේ පැවැති මෙම තරගාවලියේ පළමු අදියර සඳහා සහභාගි වීමට නොහැකි විය. එම අදියරේ ශූරතාව දිනාගැනීමට චීනයත්, අනු ශූරතාව හිමිකර ගැනීමට ජපානයත් සමත් විය.

ඉකුත් වසරේ (2021) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මූලික වටයේදී මැලේසියාව, චීනය සහ හොංකොං යන රටවල් හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කුසලාන ශූරතාවෙන් ඉවත්ව පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.

එහි අවසන් පූර්ව තරගයේදී ලකුණු 19-15 ක් ලෙස පිලිපීනය පරාජය කරමින් පළඟ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුවත්, අවසන් මහ තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 45-00 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ඔවුන්ට පළඟ අනු ශූරතාවෙන් (තරගාවලියේ 6 වැනි ස්ථානයෙන්) සෑහීමකට පත්වීමට සිදුවූහ.

 
පළමු දිනයේ (12 වැනිදා) තරග කාල සටහන
ශ්‍රී ලංකාව සහ චීනය අතර පෙරවරු 8.35 ට
ශ්‍රී ලංකාව සහ හොං කොං අතර පෙරවරු 11.55 ට
ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර පස්වරු 3.15 ට

 


අදහස් (0)

කසකස්තානය - හොංකොං පරාජය කිරීම ප්‍රධාන ඉලක්කයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.