Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවයි
ආසියානු සත් සාමාජික රග්බි

අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවයි

editorial - 2022 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දකුණු කොරියාවේ සිට..)

ජාත්‍යන්තර තරගාවලියකට රටක් වශයෙන් සහභාගි වීමේදී කුමන කොඩියක් යටතේ තරග වැදීමට සිදුවුවද තමා ඇතුළු කණ්ඩායම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව බවත්, කණ්ඩායමේ ඒකායන  බලාපොරොත්තුව උපරිම දක්ෂතා දක්වමින් රටට කීර්තියක් අත්කරදීම බවත් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහීම් මහතා ‘ලංකාදීප’යට පැවසීය.

අද (12 වැනිදා) සහ හෙට (13 වැනිදා) පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියට පෙර සිය අවසන් පුහුණු සැසියට එක් වීමෙන් අනතුරුව ඊබ්‍රහීම් මහතා ඒ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා රග්බි සංගමයට එරෙහිව ආසියානු රග්බි සංගමයෙන් පනවා ඇති ජාත්‍යන්තර තහනම හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සහභාගිවන්නේ ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේය. එම තහනම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ තායිලන්තයේදී පැවැති මෙම තරගාවලියේ පළමු අදියට සහභාගි වීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවෙන් ගිළිහී ගියේය.

“ක්‍රීඩා කරන්නෙ ජාතික කොඩිය යටතෙද, නැත්නම් ඔලිම්පික් කමිටු ධජය යටතෙද කියන එක ගැන කණ්ඩායමක් විධියට අපි වැඩියෙ හිතන්නෙ නෑ. මොකද අපි මේ තරගාවලියට ඇවිල්ලා ඉන්නෙ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න. ඉතින් අපේ වගකීම තමයි අනිත් කණ්ඩායම් වලට හොඳ තරගයක් දීලා තරගාවලියේ ඉදිරියට යන එක.” යැයිද ඊබ්‍රහීම් මහතා කියා සිටියේය.

කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙනු ඇත. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය සහ හොං කොංය. දෙවැනි දිනයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට නම් ශ්‍රී ලංකාව පළමු දිනය අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථාන දෙකෙන් එකක් හිමිකරගත යුතුය.

“අපි උපරිම උත්සාහ කරනවා පළමු වටයේ තරග 3 න් 2 වත් ජයග්‍රහණය කරන්න. ඒකෙන් කියෙවෙන්නෙ නෑ අපි එක් තරගයක් අතහරිනවා කියලා. මොකද දිනන්න බලාගෙන තමයි අපි හැම තරගයකටම සහභාගි වෙන්නේ. ඒත් පළමු කණ්ඩායම් 4 ඇවිල්ලා කුසලාන ශූරතාවට තරග කරන්න අපිට මූලික වටයෙදි ජයග්‍රහණ 2 ක් ප්‍රමාණවත්.” යැයි ඊබ්‍රහීම් මහතා පැවසීය.

යම් හෙයකින් ශ්‍රී ලංකාව පළමු දිනයේදී එක් තරගයක් පමණක් ජයගතහොත් ඔවුන්ට කුසලාන වටයට සුදුසුකම් ලබාගැනිම සඳහා ‘ඒ’ කාණ්ඩයේ සෙසු රටවල් ජයග්‍රහණ සහ පරාජයන් ලබන ආකාරය දෙස බලා සිටීමට සිදුවනු ඇත. එමෙන්ම පළමු දිනය අවසානයේදී කාණ්ඩයේ පළමු ස්ථාන දෙක අතර සිටීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් ඔවුන්ට කුසලාන වටයෙන් ඉවත්ව පළඟ වටය යටතේ තරග වැදීමටද සිදුවනු ඇත.

එංගලන්තයේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් 5 දෙනකුට විවිධ හේතූන් මත මෙම තරගාවලියේදී කණ්ඩායමේ ස්ථාන අහිමිවී ඇති අතර ඔවුන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෝ සිවු දෙදෙනෙක් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

සුදාරක දික්කුඹුර, දිලුක්ෂ දංගේ, බුද්ධිම පියරත්න, දනුෂ දයාන් සහ රීසා රෆයිඩීන් එලෙස විවිධ හේතූන් මත කණ්ඩායfමේ ස්ථාන අහිමිවූ ක්‍රීඩකයන් වන අතර ආකාෂ් මදුසංක, රමේෂ් ප්‍රනාන්දු, දර්ෂන දාබරේ සහ රිචඩ් ධර්මපාල කණ්ඩායමට අලුතින් එක්වූ ක්‍රීඩකයෝ වෙති. ඒ.එස්.කේ. පිටිගල මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරයි.

ඉකුත් වසරේ (2021) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මූලික වටයේදී ජපානය, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කුසලාන ශූරතාවෙන් ඉවත්ව පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.

එහි අවසන් පූර්ව තරගයේදී ලකුණු 28-26 ක් ලෙස පිලිපීනය පරාජය කරමින් පළඟ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුවත්, අවසන් මහ තරගයේදී නැවතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ලකුණු 29-10 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ඔවුන්ට පළඟ අනු ශූරතාවෙන් (තරගාවලියේ 6 වැනි ස්ථානයෙන්) සෑහීමකට පත්වීමට සිදුවිය.


පළමු දිනයේ (12 වැනිදා) තරග කාල සටහන
ශ්‍රී ලංකාව සහ හොං කොං අතර පෙරවරු 6.55 ට
ශ්‍රී ලංකාව සහ අරාබි එමීර් රාජ්‍යය අතර පෙරවරු 9.50 ට
ශ්‍රී ලංකාව සහ චීනය අතර පස්වරු 1.35 ට

 


අදහස් (0)

අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.