
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) දෙවැනි සතියේ තරගයක් ලෙස හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 42-11 ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 14-08 ක් ලෙස ඉදිරියෙන් සිටියහ. එහිදී ඔවුන් ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමගිනි.
දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වෙමින් ගෝල දිනුම් 4 ක් වාර්තා කළ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සිය ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 28 කින් ඉහළ දමාගැනීමට සමත් වූහ. එහිදී ශ්‍රී ලයන්ස් කණ්ඩායමට ඩ්‍රොප් ගෝලයක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසානයේ හැව්ලොක්ස් කණ්ඩායමට ලකුණු 42-11 ක පහසු ජයක් හිමිවිය.
තරගයේ 12 වැනි විනාඩියේදී ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට දෙනුවන් සිල්වා සමත් වුවද, විනාඩි 3 ක් ගතවීමටත් පෙරාතුව හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ ෂෙහාන් සිල්වා තරගය ලකුණු 5-5 ක් ලෙස සම තත්වයට පත්කළේය. එම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත ලකුණු 7-5 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය.
ශ්‍රී ලයන්ස් කණ්ඩායමට 21 වැනි විනාඩියේදී හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගත් ඒරන් පෙරේරා ලකුණු 8-7 ක් ලෙස යළිත් වරක් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේය. එහෙත් පළමු අර්ධය නිමාවීමට විනාඩි 5 ක් ඉතිරිව තිබියදී එනම් 35 වැනි විනාඩියේදී ජනිඳු විජේරත්න ලබාගත් උත්සාහක දිනුමත්, සැමුවෙල් මධුවන්ත සාර්ථක කරගත් එහි ප්‍රවර්ථනයත් හේතුවෙන් ලකුණු 14-08 ක් ලෙස ශ්‍රී ලයන්ස් කණ්ඩායම පසුපසට ඇද දැමීමට හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට හැකි වූහ.
දෙවැනි අර්ධයේ 56 වැනි සහ 67 වැනි විනාඩිවල උත්සාහක දිනුම් වාර්තා කිරීමට චරන සෙඳනායක සහ චතුර ඩිල්ෂාන් සමත් වෙද්දී, ප්‍රවර්ථනයන් සාර්ථක කරගනිමින් එම උත්සාහක දිනුම් දෙකම ගෝල බවට පත්කිරීමට සැමුවෙල් මධුවන්ත සමත් විය. එම උත්සාහක දිනුම් දෙක අතර මැද එනම් 64 වැනි විනාඩියේදී නඳුන් ගුණසේකර ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ඩ්‍රොප් ගෝලයක් ලබා ගත්තේය.
තරගයේ අවසන් විනාඩි 10 තුළ උත්සාහක දිනුම් ද්විත්වයක් ලබාගැනීමට හැව්ලොක්ස් කණ්ඩායමේ ජයතු රාජරත්න සමත් වූ අතර 72 වැනි සහ 77 වැනි විනාඩිවලදී ඔහු ලබාගත් එම උත්සාහක දිනුම් දෙකෙහිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේද සැමුවෙල් මධුවන්ත විසිනි. ඒ අනුව සැමුවෙල් මෙම තරගයේදී සාර්ථක කරගත් ප්‍රවර්ථන සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගියේය.


ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.