
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ වටය යටතේ ඊයේ (3 වැනිදා) කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයෙන් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 41-26 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 19-14 ක් ලෙස පෙරමුණේ පසුවූ පොලිස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 22 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. දෙවැනි අර්ධයේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.
පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් පොලිස් කණ්ඩායම, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමගිනි. පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 කට සීමා වූ සී.එච්. කණ්ඩායමේ ලකුණු ලබාගැනීමට දෙවැනි අර්ධයේදී තවත් උත්සාහක දිනුමක් සහ ගෝල දිනුමක් මගින් ලකුණු එක් විය.
යොමාල් සාරංග 3 වැනි විනාඩියේදීද, ප්‍රිමේෂ් ධනුෂ්ක 9 වැනි විනාඩියේදීද, නිලස් සමාධි 14 වැනි විනාඩියේදීද, මොහොමඩ් ෆවුමි 47 වැනි විනාඩියේදීද, ජනිත් චානක 62 වැනි විනාඩියේදීද, ආකාෂ් මධුෂංක 70 වැනි විනාඩියේදීද පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 6 න් 4 ක ප්‍රවර්ථන සාර්ථක කරගත් යොහාන් පීරිස්, 52 වැනි විනාඩියේදී සිය කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක්ද සාර්ථක කරගත්තේය.
සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම වෙනුවෙන් ප්‍රසාත් මධුෂංක 21 වැනි සහ 29 වැනි විනාඩිවලදීද, ෂෙහාන් සිල්වා 42 වැනි විනාඩියේදීද, දුෂ්මන්ත ප්‍රියදර්ශන 71 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 4 න් 3 ක ප්‍රවර්ථන සාර්ථක කරගනු ලැබුවේ හිරුෂ සම්පත් විසිනි.
මෙම තරගයේදී පොලිස් කණ්ඩායමේ රසිත් සිල්වා (32 වැනි විනාඩියේදී) ද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ රවිඳු හෙට්ටිආරච්චි සහ ශොහාන් සිල්වා (71 වැනි විනාඩියේදී) ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.




(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.