Last Update  :  2025-05-05 15:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිස් ක්‍රීඩකයෝ 36-22 කින් සී. එච්. පිල පරාජය කරති

පොලිස් ක්‍රීඩකයෝ 36-22 කින් සී. එච්. පිල පරාජය කරති

යොහාන් භාසුර - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ෆිජි ක්‍රීඩක ඉමෝෂි වෙනුමෝසා පොලිස් පිලේ බර කරටගෙන ක්‍රීඩා කිරීමේ ප්‍රතිඵලයෙන් අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය ආරම්භ කරමින් අද (03) පැවැති තරගයේදී පොලිස් පිල ලකුණු 36-22 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කළේය.

මෙවර තරගාවලියේ මේ දක්වා පෙරළිකාර කණ්ඩායම වන පොලිස් පිල ලැබූ තෙවැනි ජය මෙය වේ.  
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කළ ෆිජි ක්‍රීඩක ඉමෝෂි වෙනුමෝසා සිය කාර්යභාරය විශිෂ්ට ලෙස ඉටුකිරීමෙන් සී. එච්. පිලට පසු බැසීමට සිදුවිය.

සී. එච්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-5 ක් ලෙස පෙරමුණේ පසුවුවද පොලිස් පිල දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු හය තුළදී ගෝල දෙකක් සම්පූර්ණ කරමින් පෙරමුණට පැමිණියේය.

ඉමෝෂි වෙනුමෝසා හත්වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු 5-0 ක් ලෙස පොලිස් පිල ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ ගෞරවය හිමිකරගත්තේය.

සජිත් සාරංග 20 වැනි මිනිත්තුවේදී සී. එච්. පිලට එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 5-5 ක් ලෙස සමවිය.

මිනිත්තු 19 ක් පමණ පැවැති නිහඩතාව අවසන් කරමින් 39 වැනි මිනිත්තුවේදී ප්‍රසාද් මධුසංඛ සී. එච්. පිලට උත්සාහක දිනුමක් එකතු කළේය. එහි පහසු ගෝල ප්‍රවර්ථනය නායක රෝහිත රාජපක්‍ෂ වෙතින් ගිගිහී යෑමෙන් ලකුණු පුවරුව 10-5 ක්ව තිබියදී පළමු අර්ධය අවසන් විය.

දෙවැනි අර්ධයේ තෙවැනි මිනිත්තුවේදී ජනිත් චන්දිමාල් සැළසුම්සහගතව ස්ථානගත වී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඔහු විසින්ම ගෝලයක් බවට ප්‍රවර්ථනය කරන ලදී.

ඉමෝෂි වෙනුමෝසා හයවැනි මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම පොලිස් පිලට එකතු කළ අතර ජනිත් චන්දිමාල් එයට ද අතිරේක ලකුණු එකතු කළේය.

පොලිස් පිල දෙවැනි අර්ධයේ 7 වැනි මිනිත්තුව වන විට ලකුණු 19-10 ක් ලෙස පියවර කීපයක් ඉදිරියෙන් සිටියේය.

ඉරෝෂණ සිල්වා 16 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමකින් පොලිස් පිලට තවත් ලකුණු 5 ක් එකතු කිරීමෙන් ලකුණු 24-10 ක් ලෙස පොලිස් පිල තව දුරටත් ග්‍රහණය වැඩි කළේය.

 

ජාතික කණ්ඩායම නියෝජනය කළ සත්‍යා රණතුංග 21 වැනි මිනිත්තුවේදී සී. එච්. පිල වෙනුවෙන් සම්පූර්ණ කළ උත්සාහක දිනුම සුදම් සූරියආරච්චි ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 24-17 ක් බවට පත්විය.

ජනිත් චානක 26 වැනි මිනිත්තුවේදී පොලිස් පිලට උත්සාහක දිමක් එකතු කරමින් බලාපොරොත්තු ඉහළ නැංවීය. සචිත් සිල්වා එහි ප්‍රවර්ථනය සාර්ථක කරමින් ලකුණු පුවරුව 31-17 ක් බවට පත්කළේය.

විදේශීය විනිසුරු ජොනතන් මාක්කොවිට්ස් මහතා කහ කඞ්පතින් අවවාද කර ඉමෝෂි වෙනුමෝසා දෙවැනි අර්ධයේ 29 වැනි මිනිත්තුවේදී පිටියෙන් ඉවත්කිරීමේන් පොලිස් පිලට ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවිය.  

සී. එච් පිලේ දුෂ්මන්ත ප්‍රියදර්ශන 35 වැනි මිනිත්තුවේදී ගෝල සීමාව අක්‍රමණය කරමින් ලකුණු පුවරුව 31-22 ක් බවට පත්කරමින් ලකණු පරතය නවයක් බවට පත්කළේය.

පොලිස් පිල මෙහිදී දැඩි ආක්‍රමණශීලීව ක්‍රීඩා කිරීමේ ප්‍රතිඵලයෙන් තරගය අවසන් වීමට මිනිත්තු දෙකක් පමණ තිබියදී ඉරෝෂාන් සිල්වා උත්සාහක දිනමුක් සම්පූර්ණ කළේය. ඒ අනුව අවසන් ලකුණු සංඛ්‍යාව 36-22 ක් බවට පත්විය.

 


අදහස් (0)

පොලිස් ක්‍රීඩකයෝ 36-22 කින් සී. එච්. පිල පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.