Last Update  :  2025-06-02 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අන්තර් පාසල් රග්බි ලීගය 6 වැනිදා සිට

අන්තර් පාසල් රග්බි ලීගය 6 වැනිදා සිට

editorial - 2025 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ඩයලොග්’ අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ තලයේ මූලික වටයේ තරග ජුනි මස 6 වැනිදා සිට කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ඉකුත් වසරේ (2024) පැවැති ලීග් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වන සේ මෙම බෙදා වෙන්කිරීම සිදුකර තිබේ. ඒ අනුව මූලික වටය සති 5 කින් සමන්විත වන අතර එහිදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමග එක් වරක් බැගින් තරග වැදීමට නියමිතය. 

ඉකුත් වසරේ ලීග් රග්බි ශූරයන් බවට පත්වූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමගින් කොළඹ ඩී.එස්. සේනානායක විදුහල, කොළඹ වෙස්ලි විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ආනන්ද විදුහල පළමු කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

පසුගිය වර අනු ශූරයන් බවට පත්වූ කොළඹ ඉසිපතන විදුහල සමග ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, මරදාන සහිරා විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර කින්ස්වුඩ් විදුහල සහ කොළඹ මහානාම විදුහල තරග වදින්නේ දෙවැනි කාණ්ඩය යටතේය. 

කොළඹ රාජකීය විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, මරදාන ශාන්ත ජෝෂප් විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල තෙවැනි කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙනු ඇත. 

මෙම කණ්ඩායම් අතරින් කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ මහානාම විදුහල මෙවර තරගාවලියේදී ‘ඒ’ තලයේ තරග වැදීමට සුදුසුකම් ලබාගත්තේ ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී ‘බී’ තලයේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වෙමිනි. 

මූලික වටයේ පළමු සතියේ තරග ජූනි මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වාද, දෙවැනි සතියේ තරග 13 වැනිදා සිට 15 වැනිදා දක්වාද, තෙවැනි සතියේ තරග 20 වැනිදා සිට 22 වැනිදා දක්වාද, සිවුවැනි සතියේ තරග 27 වැනිදා සිට 29 වැනිදා දක්වාද පැවැත්වෙන අතර අවසන් සතියේ තරග පැවැත්වෙන්නේ ජූලි මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වාය.
 
මූලික වටය අවසානයේ සෑම කාණ්ඩයකම පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට සුදුසුකම් ලබනු ඇත. දෙවැනි වටයේදී එම කණ්ඩායම් 6 අතරද ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර එහිදී ඉහළම දස්කම් දක්වන කණ්ඩායම තරගාවලියේ ශූරයන් බවට පත්වනු ඇත. 

එක් එක් කාණ්ඩවල තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම්වලට පළඟ ශූරතාව සඳහාද, පස්වැනි සහ හයවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම්වලට බඳුන ශූරතාව සඳහාද දෙවැනි වටයේදී තරග වැදීමට සිදුවනු ඇත. 


අදහස් (0)

අන්තර් පාසල් රග්බි ලීගය 6 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.