Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙරීනා සමුගැනීමට දින ගණන් කරයි

සෙරීනා සමුගැනීමට දින ගණන් කරයි

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(සැකසුම - දමින්ද විජේසූරිය)

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සඳහා “දින ගණන් කිරීම ආරම්භ කළා” යයි එක්සත් ජනපද ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් අඟහරුවාදා නිවේදනය කළාය. මේ වන විට 40 හැවිරිදි වියේ පසුවන සෙරීනා විලියම්ස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක් දිනාගැනීමෙන් ඕස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝට්ගේ ලෝක වාර්තාවට එකක් පසුපසින් සිටින ක්‍රීඩිකාවයි.

සිය 23 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වන, 2017 ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව, ඇය ජයගත්තේ ඇයගේ දියණිය ඔලිම්පියා ගැබ්ගෙන සිටියදීමය. එහෙත් නැවතත් ක්‍රීඩිකාවක් ලෙසින් ගැබ්ගැනීමට තමන්ට කිසිම උවමනාවක් නැතැයි සෙරීනා කියන්නීය.
 
ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනැගැනීම සඳහා ඇයගේ අවසන් උත්සාහය වන්නේ මේ මස අගදී නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියයි.
 
“අප වෙනස් දිශාවකට යාමට තීරණය කළ යුතු කාලයක් පැමිණෙනවා” යයි ඇය තම ඉන්ස්ටග්‍රෑම් සම්බන්ධිතයට පණිවුඩයක් මුදාහරිමින් ප්‍රකාශ කළාය.

“ඔබ යම් දෙයකට බොහෝ සෙයින් ආදරය කරන විට, එය හැරයාම සෑම විටම දුෂ්කරයි. මම ටෙනිස් ක්‍රීඩාවට ආදරය කරනවා තමයි. ඒත් දැන් සමුගැනීම සඳහා මා දින ගණන් කිරීම ආරම්භ කර තියෙනවා”

“මම දැන් අවධානය යොමු කළ යුත්තේ මවක් වීම සඳහායි. මගේ අධ්‍යාත්මික ඉලක්ක සහ අවසානය සම්බන්ධයෙන් තියෙන අරමුණු වෙනස්. ඒ වුණත්, ආයෙමත් වතාවක්, අර පරණ හිටපු උද්යෝගිමත් සෙරීනා සොයා ගැනීම මගේ කෙටි කාලීන ඉලක්කයයි. ඒ වෙනුවෙන් මම ඉදිරි සති කිහිපය තුළ උත්සාහ කරනවා” යයි ද සෙරීනා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබිණ.

වසර එකහමාරකට පමණ පසුව, පසුගිය සඳුදා (8 වැනිදා) කෘතිම ටෙනිස් පිටියකට පිවිසි සෙරීනා, එහිදී ස්පාඤ්ඤ ජාතික නවුරියා පැරිසාස් එක එල්ලේම පරාජය කරමින් දෙවන වටයට පිවිසියාය. එය මාස 14 කට පසුව, එනම් 2021 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් පසු, ඇයගේ පළමු කේවල ජයග්‍රහණය විය.

පසුගිය ජූනි මාසයේදී විම්බල්ඩන් තරගාවලියට එක්වූ ඇය පළමු වටයේම පරාජය වූවාය. ඇය විම්බල්ඩන් තරගාවලියට පිවිසියේ දිගු කාලීන ආබාධයකට පසුවය.

සුප්‍රකට ‘වෝග්’ සඟරාවේ සැප්තැම්බර් මාසයේ කවරයේ ඡායාරූපයට එක්වූ සෙරීනා එහිදී කියා සිටියේ එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියෙන් පසු ක්‍රීඩාවෙන් “ව්‍යුත්පන්න වන දිශාවක්” කරා ගමන් කරමින් සිටින බවයි.

“අවාසනාවකට මේ වසරේ (2022) විම්බල්ඩන් ශූරතාව ජයග්‍රහණය කිරීමට තරම් සූදානම් තත්ත්වයක මා හිටියේ නැහැ... කොහොම වුණත්, මම නිව් යෝර්ක් තරගාවලිය (එක්සත් ජනපද විවෘත ශූරතාවලිය) දිනන්න සූදානම් වෙයිද කියලා මම දන්නේත් නැහැ. නමුත් මම උත්සාහ කරන්න යනවා” යයිද ඇය සඳහන් කළාය.

“ඉදිරි තරඟාවලි කිහිපය විනෝදජනක වේවි. මම දන්නවා මගේ ප්‍රේක්‍ෂකයන් බලාපොරොත්තුව හිටියේ මම මාග්‍රට් කෝට්ගේ වාර්තාව සමකරයි කියලා. ඒක ලන්ඩන් නුවරදී වෙයි කියලා ඔවුන් හිතා හිටියා... ඒක වුණේ නෑ.. ඒත් ඒක නිව්යෝක් නුවරදී වෙයි කියලා දැන් හිතන් ඉන්නවා වෙන්න ඇති...”

“ඒක වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්... අපි නිව්යෝක් නුවරදී හමුවෙමු”
කොහොම වුණත් මට එකක් නම් කියන්න පුළුවන්. මම නිව්යෝක් පිටියේදී උත්සවාකාර සමුගැනීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ.. මොකද මම සමුගැනීමේදී හරිම දුර්වලයි... ඒ ගැන නම් ලෝකයේ නරකම කෙනා මම තමයි” යයි ද සෙරීනා පැවසුවාය.

සෙරීනා විලියම්ස්, 1999 එක්සත් ජනපද විවෘත ටෙනිස් තරඟාවලියේදී ඇයගේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගන්නා විට ඇයට වයස අවුරුදු 17 කි. ඇය එක්සත් ජනපද විවෘත ශූරතා 6 ක් සහ ප්‍රංශ විවෘත ශූරතා 3 ක්  තුනක් ද සමඟින් විම්බල්ඩන් සහ ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව හත් වරක් බැගින් දිනා ඇත. ටෙනිස් පිටියේදී ඇය හඳුන්වනු ලැබුවේ යකඩ ගැහැණිය ලෙසිනි.

“විශ්‍රාම කියන වචනයට මම කවදාවත් කැමති නැහැ. එය මට නවීන වචනයක් ලෙස දැනෙන්නේ නැහැ,” ඇය පැවසුවාය.

“මම මේ තත්ත්වය දකින්නේ සංක්‍රමණයක් ලෙසින්. ඒත් මම ඒ වචනය භාවිතා කරන ආකාරය ගැන සංවේදී වීමට අවශ්‍යයි. එයින් අදහස් වන්නේ කිසියම් ප්‍රජාවකට ඉතා නිශ්චිත සහ වැදගත් අදහසක් නම් ඒ අදහස සමග ඒ වචනය ගැලපෙන්න ඕනේ... සමහර විට මම කරන්න යන දේ විස්තර කිරීමට හොඳම වචනය ‘පරිණාමය’ කියන එක වෙන්න පුළුවන්” යයි ද සෙරීනා කීවාය.

“ඒ කියන්නේ මම ටෙනිස් ක්‍රීඩාවෙන් ඈත් වෙලා මට වැදගත් වෙන දේවල් වලට පරිණාමය වෙනවා කියන එකයි”
“මීට වසර කිහිපයකට පෙර මම නිහඬවම, සෙරීනා වෙන්චර්ස් නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් ආරම්භ කළා. ඊට පස්සේ මම පවුලක් ආරම්භ කළා. දැන් මට ඒ  පවුලේ අභිවෘද්ධිය දැකීමට අවශයයි”

“කොහොම වුණත්, මම ටෙනිස් ක්‍රීඩාවෙන් ඉවත්වෙන්න යනවා කියන එක පිළිගැනීමට මම කැමති නෑ.  මගේ සැමියා වන ඇලෙක්සිස් සහ මම ඒ ගැන කතා කළේ නැති තරම්. හරියට එය තහනම් මාතෘකාවක් වගේ”

“පසුගිය වසර තුළ, ඇලෙක්සිස් සහ මා තවත් දරුවෙකු ලැබීමට උත්සාහ කරමින් සිටියා. මෑතකදී මගේ වෛද්‍යවරයාගෙන් අපට යම් තොරතුරක් ලැබුණා. ඒ අනුව මගේ මනස සැහැල්ලු කරගත්තායින් පසුව, අපි මානසිකව සූදානම් වූ විට, අපගේ පවුලට තවත් කෙනෙක් එකතු කළ හැකි බව මට සිතුණා”

“ස්ථිරවම කියනවා නම්, මට ක්‍රීඩිකාවක් ලෙස නැවත ගැබ් ගැනීමට අවශ්‍ය නෑ. එක්කෝ මට ටෙනිස් ක්‍රීඩාවටම යන්න ඕන. නැත්නම් ඒකෙන් ඉවතට යන්න ඕන” යයිද සෙරීනා විලියම්ස් අවධාරණය කළාය.


අදහස් (0)

සෙරීනා සමුගැනීමට දින ගණන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.