Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සී. ආර්. මහනුවරට පරදියි

සී. ආර්. මහනුවරට පරදියි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ වඩාත් අවධානය දිනාගත් තරගයක් වූ මහනුවර ක්‍රීඩා සමාජයත් සී.ආර්.ඇන්ඞ්.එෆ්.සී. ක්‍රීඩා සමාජයත් අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාපිටියේදී පැවති තරගයෙන් ලකුණු 41-30ක ජයක් ලැබීමට ප්‍රබල මහනුවර පිල සමත්විය.

ජයග්‍රාහී මහනුවර පිල ගෝල දිනුම් පහක් හා දඬුවම් පහර දෙකක් මගින් ලකුණු රැස් කළේය. සී.ආර්. පිල උත්සාහක දිනුම් තුනක් හා දඬුවම් පහර පහක් මගින් ලකුණු ලැබීය. කෙසේ වුවත් ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 14-14ක් ලෙස දෙපිලම සම ලකුණු රැස් කර තිබීම කැපී පෙනුණි.

තරගය ආරම්භ වී පස්වැනි විනාඩියේදී මහනුවර පිලේ ෂෙහාන් පතිරණ සී.ආර්. මීටර් විස්ස සීමාවේදී ඉදිරි ආරක්‍ෂක වලල්ල බිඳගෙන ගොස් උත්සාහක ගෝල කණු ආස්නනයේම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්ථනය තිළණ විජේසිංහ විසින් සාර්ථක කරගැනීමත් සමග නිත්තවෙල ක්‍රීඩාංගණයේ  ලකුණු පුවරුව සක්‍රියවීම ආරම්භ විය.

අනතුරුව විසිවන හා විසිපස්වන විනාඩිවලදී මහනුවර ක්‍රීඩකයන් සී.ආර්. තහනම් කලාපයට පැමිණීම හේතුවෙන් ලද දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගැනීමට සී.ආර්. පිලේ තරින්ද රත්වත්තේ සමත් වූ අතර ඉන් විනාඩි කිහිපයකට පසු මහනුවර ලකුණු සීමාව ආක්‍රමණය කිරීමට සී.ආර්. පිලේ ජොයෙල් පෙරේරා සමත් වූ අතර එහි ප්‍රවර්ථනය තරින්දගේ පාදයෙන් අසාර්ථක වන විට ලකුණු තත්ත්වය 11-7ක්ව පරිදි සී.ආර්. පිල ඉදිරියෙන් විය.

නැවතත් සී.ආර්. පිලට ලද දඬුවම් පහරක් තරින්ද විසින් සාර්ථක කරගන්නා විට ලකුණු තත්ත්වය 14-07ක් වශයෙන් ඉදිරියෙන් සිටීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වුවත් ප්‍රථම අර්ධය නිමාවීමට විනාඩි හතරක් තිබියදී මහනුවර පිලේ බුවනෙක උඩංගමුව සී.ආර්. ලකුණු සීමාව ආක්‍රමණය කිරීමට  සමත් විය. එහි ප්‍රවර්ථනය තිළිණ විසින් සාර්ථක කර ගත් බැවින් ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු තත්ත්වය 14-14ක් වශයෙන් සම තත්ත්වයේ විය.

දෙවැනි අර්ධය ආරම්භ වී දෙවැනි විනාඩියේදී මහනුවර පිලේ ජයග්‍රාහී ගමන ආරම්භ කරමින් සී.ආර්. මීටර් දහය සිමාවේ ලද ක්‍රීඩක එකතුවකින් තල්ලු වී ගොස් පැති ඉරි ආසන්නයේ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට  ශානුක දිසානායක සමත් විය.

එහි ප්‍රවර්ථනය සාර්ථකව ගෝල කණු අතරින් පාකර හැරීමට තිළිණ විජේසිංහ සමත්විය. එකොළොස්වැනි විනාඩියේදී නැවතත් ක්‍රියාත්මක වූ මහනුවර ක්‍රීඩකයන් පන්දුව අතිනත යවමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනයද තිළිණ විසින් සාර්ථක කර ගන්නා ලදී. විසිවැනි විනාඩියේදී පන්දුව අතිනත යැවූ සී.ආර්. ක්‍රීඩකයන් පැති ලකුණු සීමා ආසන්නයේ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත්වූ අතර චමෝද් ප්‍රනාන්දු විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය තරින්දගේ පාදයෙන් ගිලිහී ගියේය.

 විසි අට වැනි විනාඩියේදී මීටර හතලිහ සීමාවේදී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සී.ආර්. පිලේ තරින්ද සමත් විය. තිස් හතර වැනි විනාඩියේදී නැවතත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සී.ආර්. පිල සමත්වූ අතර ඉන් කෙටි වේලාවකට පසු මහනුවර පිලේ ශසික ජයවර්ධන උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්ථනයද සාර්ථක විය. ඉන් අනතුරුව මහනුවර පිලට ප්‍රදානය කෙරුණ දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් අතර තරගය නිමා වන විට ලකුණු 41-30ක් වශයෙන් මහනුවර පිලට ජය හිමිව තිබුණි. ඩිංකා ප්‍රනාන්දු මහතා තරග විනිසුරු වශයෙන් කටයුතු කළේය.  

 


අදහස් (0)

සී. ආර්. මහනුවරට පරදියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.