ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ පරිපාලනය අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන්නේ විධායක කමිටුවේ තනතුරු දරණ ඇතැම් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා බව එම සංගමයේ වැඩබලන සභාපති චතුර ජයයේන්ද්‍ර මහතා පවසයි.
“මේසපන්දු ක්‍රීඩකයෙක් ඇඟිල්ලට වඩා ඉදිමෙයි” යනුවෙන් පසුගිය 24 වැනිදා ලංකාදීප පත්‍රයේ පළවූ වාර්තාව සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ජයයේන්ද්‍ර මහතා එසේ පවැසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ සිය සංගමය ගන්නා තීන්දු, තීරණවලට කිසිදු ක්‍රීඩකයකුගේ බලපෑම් එල්ල වී නොමැති බවයි. ඔහු මෙසේද පැවැසීය.
“අපේ සංගමයේ විධායක කමිටුවේ නිලධාරීන් 13 දෙනෙක් ඉන්නවා. නමුත් කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ ඒ පිරිසෙන් හරි අඩක්වත් සක්‍රීය නැහැ. මම මේ සංගමයේ වැඩ බලන සභාපති ධූරයට පත්වෙලා දැනට අවුරුද්දක් වෙනවා. ඒත් ඒ අවුරුද්දට එක පාරක්වත් විධායක කමිටු රැස්වීමක් පවත්වලා නැහැ.”
“විධායක කමිටු රැස්වීමක් කැඳවන එක සංගමයේ ලේකම්වරයාට අයිති වැඩක්. සාමන්‍ය විධායක කමිටු රැස්වීමක් කැඳවනවා නම් දින 7 කට පෙර ඒක හැම විධායක සභිකයකුටම ලිඛිතව දන්වන්න ඕනේ. එහෙම කැඳවන රැස්වීම් 3 කට සහභාගි වූණේ නැත්නම් පමණයි අපිට නිලධාරියෙක්ව සංගමයෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ”
“ඒත් මේ වෙනකන් තිබුණ හැම රැස්වීමක්ම හදිසි දැනුම්දීමක් මත පවත්වපු රැස්වීම්. ඒ රැස්වීම්වලටත් එන්නේ නිලධාරීන් 7 ක් 8 ක් විතර. සමහර අවස්ථාවල ඒ ටිකත් නැහැ. රැස්වීම්වලට එන්නේ නැති අය සංගමයෙන් ඉවත් වෙනවා කියලා අපිට ලිඛිතව දන්වලත් නැහැ. ඒ නිසා අපිට ඒ අයව සංගමයෙන් ඉවත් කරන්නවත්, ඔවුන් වෙනුවට වෙන කට්ටියක් පත්කර ගන්නවත් බලයක් නැහැ.”
“ඔන්න ඕකයි සංගමයේ පරිපාලනය අර්බුදකාරී තත්වයකට පත්වෙන්න හේතුව. නැතුව කාගෙවත් බලපෑම් නෙමෙයි. සභාපති වුණාට මෙතනදි මට අනිත් අයගෙ වැඩත් කරන්නයි වෙලා තියෙන්නේ. ඒක ඉතාමත් කණගාටුදායක තත්වයක්.” යැයිද සභාපතිවරයා පවසා සිටියේය.
එහිදී සංගමයේ පරිපාලන කටයුතුවලට මැදිහත් වන්නේ යැයි කියන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා සම්බන්ධයෙන් සභපතිවරයා මෙවන් අදහසක් පළ කර සිටියේය.
“ඔය කියන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා සම්බන්ධයෙන් යම් යම් ගැටළු තියෙනවා තමයි. නමුත් මට නම් එයා පරිපාලන කටයුතුවලදී බලපෑම් කරලා නැහැ. වරක් ඔහු යටතේ පුහුණුවෙන මාලදිවයින් සම්භවයක් තියෙන ක්‍රීඩිකාවක් ජාතික මට්ටමේ මේසපන්දු තරගාවලිවලට සහභාගි කරවන්න ඔහු උත්සහා කළා. නමුත් ඒ වෙලාවෙ මම ඒකට විරුද්ධ වුණා.”
“මොකද ඒ ක්‍රීඩිකාවට ජාත්‍යන්තර තරගාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න බැරිනම් එයා ජාතික මට්ටමේ තරගාවලිවලට සහභාගි වෙන එකෙන් වෙන්නේ අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාඩුවක් සිදුවෙන එක” යැයිද ජයේන්ද්‍ර මහතා සඳහන් කළේය.
ආසියානු ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම වෙනුවෙන් නැවත වරක් තේරීම් තරගාවලියක් පැවත්වන ලෙස දකුණු පළාත් මේසපන්දු සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කළ නමුත් ක්‍රීඩකයකු බලපෑම් නොකළ බවද සභාපතිවරයා අවසාන වශයෙන් පැවසීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.