පාපැදි සම්මේලනයේ දිරි දීමනාවෙන් ධෛර්යයට පත්ව සිටින දිස්ත්‍රික් පාපැදි සංගම් ඔවුන්ගේ වාර්ෂික තරගාවලිය මෙවර වඩාත් උසස් අයුරින් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ අනුරාධපුරය, කොළඹ, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික් පාපැදි සංගම් මේ මස 27 වැනි ඉරිදා සිය දිස්ත්‍රික් තරගාවලි පැවැත්වීමට සැළසුම් කර ඇත.
මෙම සියලු තරගාවලි ඉසව් ගණනින් සමන්විතව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා ‘ලංකාදීපය’ කළ විමසුමකදී පැවසුවේ පුත්තලම ඇතුළුව තවත් දිස්ත්‍රික් කීපයකට පාපැදි ක්‍රීඩා සංගම් ස්ථාපිත කිරීමට පාපැදි සම්මේලනය කටයුතු යොදා තිබෙන බවත්ය.
දිස්ත්‍රික් පාපැදි තරගාවලියක් සංවිධානය කිරීමේදී රේසිං පාපැදි තරග සහ ස්ටෑන්ඩඞ් පාපැදි තරග (ජ්‍යෙෂ්ඨ/ කනිෂ්ඨ) මෙන්ම කාන්තා හා පිරිමි ඉසව් අලුතින් සමන්විතව සංවිධානය කිරීමට පාපැදි සම්මේලනය උපදෙස් දී තිබේ.
දිස්ත්‍රික් පාපැදි තරගාවලි පැවැත්වීම මෙතෙක් දිස්ත්‍රික් සංගම් දෙක තුනකට පමණක් සීමා වුවත් පාපැදි සම්මේලනයේ දිරි ගැන්වීම හමුවේ දැනට ක්‍රියාත්මකව පවතින සියලු දිස්ත්‍රික් පාපැදි සංගම් වල වාර්ෂික තරගාවලිය මෙම 31 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අතර එම සියලු දිස්ත්‍රික්කයන්හි වාර්ෂික තරගාවලිය පැවැත්වීමේදි එම තරග පසුපස ආධාරක යතුරුපැදි වාහන ගමන් කිරීම පාපැදි සම්මේලනය මුළුමනින්ම තහනම් කර තිබේ.
දිස්ත්‍රික් පාපැදි තරගාවලි නොපැවැත්වෙන ප්‍රදේශයන්හි තරගකරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයෙන් පාපැදි සම්මේලනය ඉදිරියේදී ජාතික පාපැදි ශූරතා තරගාවලිය පවත්වන බවත් එහිදී පාපැදි සම්මේලන සභාපතිවරයා අවධාරණය කරයි.
දිස්ත්‍රික් පාපැදි තරගාවලි පැවැත්වෙන අකාරය පහත පරිදි වේ.
කොළඹ දිස්ත්‍රික් පාපැදි තරගාවලිය:-
■ ආරම්භය කළුබෝවිල බුද්ධඝෝෂ මහා විදුහල ඉදිරිපිට සිට කිලෝමීටර් 12.4ක ධාවන මාර්ගයක් ඔස්සේ අධීක්ෂණය:- පාපැදි සම්මේලනයේ උප සභාපති එම්.එල්. ක්‍රිෂාන්ත මහතා.
ගම්පහ දිස්ත්‍රික් පාපැදි තරගාවලිය:-
■ ආරම්භය:- දූනගහ ප්‍රාදේශීය සභාව ඉදිරිපිටින් කිලෝමිටර 20ක ධාවන මාර්ගයක:- අධීක්ෂණය:- පාපැදි සම්මේලනය ලේකම් නිහාල් කුලසේකර මහතා.
කුරුණෑගල දිස්ත්‍රික් පාපැදි තරගාවලිය:-
■ ආරම්භය කුරුණෑගල වැල්ලව මුත්තෙට්ටුගල හංදියේ සිට වැල්ලව මාර්ගය ඔස්සේ:- අධීක්ෂණය පාපැදි සම්මේලනයේ උප සභාපති බී.ජේ. සුමනසේකර මහතා.
අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි තරගාවලිය
■ පොතානේගම අරුණ සයිකල් වර්ක්ස් ආයතනය ඉදිරිපිටින් තිසාවැව කිලෝමිටර් 10.5ක ධාවන මාර්ගයක් ඔස්සේ අධීක්ෂණය:- පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා.
කෑගල්ල දිස්ත්‍රික් පාපැදි තරගාවලිය:-
■ ආරම්භය - රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව ඉදිරිපිටින් රුවන්වැල්ල (11) ගලිගමුව ඔස්සේ ධාවන මාර්ගයක. අධීක්ෂණය පාපැදි සම්මේලනයේ උප ලේකම්:- නිලුකා සුරංජි මහත්මිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.