Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජොකොවික් ඔලිම්පික් සහභාගීත්වය ස්ථිර කරයි

ජොකොවික් ඔලිම්පික් සහභාගීත්වය ස්ථිර කරයි

editorial - 2021 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
මෙම වසර (2021) තුළ මෙතෙක් පැවැති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලි 3 ම ජයගෙන සිටින සර්බියාවේ නොවැක් ජොකොවික්, තමා 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන බව තහවුරු කර ඇත. ඒ අනුව ඔහුට සෙසු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වන ඇමරිකානු විවෘත ශූරතාවලිය සහ ඔලිම්පික් රන් පදක්කමද ජයගනිමින් ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවකට හිමිකම් කීමේ අවස්ථාව ඇත.

‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවක් යනු එක් වසරක් තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 ක් සහ ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමය. ටෙනිස් ඉතිහාසයේ මින් පෙර එවන් දස්කමක් දක්වා ඇත්තේ ‍ජර්මනියේ ස්ටෙෆි ග්‍රාෆ් පමණි. 1988 වසරේදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 මෙන්ම ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමටද ඇය සමත් වූවාය. ඉන් අනතුරුව මේ දක්වාම ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවක් දිනාගැනීමට කිසිදු ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක සමත්වී නැත.
 
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙ‍ මේ මස 23 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඇමරිකානු විවෘත ශූරතාවලිය අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එම තරගාවලි දෙකේ ශූරතාද තමන් සතුකර ගැනීමට ජොකොවික් සමත් වුවහොත් ඔහුට ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව හිමිවනු ඇත.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 කට හිමිකම් කියන ජොකොවික්, මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවේ. ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා ලෙස ඔහු ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග සම වාර්තාවකටද හිමිකම් කියයි.
 
ඉකුත් සති අන්තයේදී නිමාවට පත්වූ විම්බල්ඩන් ශූරතාවලියෙන් පසුව 34 හැවිරිදි ජොකොවික් කියා සිටියේ ඔලිම්පික් උළෙල සඳහා තමාගේ සහභාගීත්වය 50% ක සම්භාවිතාවක පවතින බවය. කෙසේ වුවත් ඉකුත්දා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඔලිම්පික් උළෙල සඳහා සිය සහභාගීත්වය තහවුරු කළේය.

"ඔලිම්පික් උළෙලට සහභාගි වන සර්බියානු කණ්ඩායමට ඇතුළත්වීම ගැන අඩාම්බරයි. මම ටෝකියෝ නුවර වෙත යෑමට ගුවන් ප්‍රවේශ පත්‍රයක් වෙන් කරවාගත්තා." යැයි ‍‍ජොකොවික්ගේ ට්විටර් සටහනේ සඳහන් විය.

-036


අදහස් (0)

ජොකොවික් ඔලිම්පික් සහභාගීත්වය ස්ථිර කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.