Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කායවර්ධන නිලවරණය තියන්න නියෝග

කායවර්ධන නිලවරණය තියන්න නියෝග

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපතිවරයා හා ලේකම්වරයා අතර මත ගැටුම් අවසන් කරමින් වහාම නිලවරණයකට යන ලෙස ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුමාල මහතා ඔවුන්ට උපදෙස් දුන් බව වාර්තාවේ. ඒ ඔවුන් කායවර්ධන සම්මේලනයේ පරිපාලන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉකුත් දා මුණ ගැසුණු අවස්ථාවේදීය.

සම්මේලනයේ ව්‍යවස්ථාව හා ක්‍රීඩා පනත උල්ලංඝනය වන ආකාරයෙන් දිස්ත්‍රික් සංගම් පිහිටුවන බව කායවර්ධන සම්මේලනයේ ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයට කර ඇතැයි කියන පැමිණිල්ල පිළිබඳව සළකා බලමින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම සම්මේලනයේ විධායක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවීය. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එම්.පී. කමල් පත්මසිරි මහතා නිකුත් කර තිබූ නියෝග ඇතුළත් ලිපියකින් දක්වා තිබුණි.

ලේකම්වරයාගේ පැමිණිල්ල සත්‍යයක් නම් ඒ පිළිබඳව විමර්ශනයක් කර කායවර්ධන සම්මේලනය තාවකාලිකව අත්හිටුවන ලෙස හිටපු ක්‍රීඩා ඇමැතිවරයා දැනුම් දී තිබෙන බවද වාර්තාවේ.

එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණේ කායවර්ධන සම්මේලනයේ ඇතිවී තිබෙන බව කියන පරිපාලන ආරවුලේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයකු සම්මේලනයේ සභාපතිවරයාට පක්‍ෂව කටයුතු කරන බවට ඉදිරිපත් වී තිබෙන තොරතුරු පිළිබඳව විමර්ශනයක් කෙරෙන තුරු ඔහු කායවර්ධන සම්මේලනයේ කටයුතු වලින් ඉවත් කර තබන ලෙසයි.

කායවර්ධන සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු, ලේකම් නිහාල් වීරතුංග, උප සභාපතිවරුන් වන ශම්මි ජයවර්ධන, ප්‍රසන්න පීරිස්, භාණ්ඩාගාරික දිනේෂ් ෆොන්සේකා, උප සභාපති වසන්ත ප්‍රනාන්දු යන මහත්වරු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමග පැවති එම සාකච්ඡාවට සහභාගි වී තිබේ. පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව සම්මේලනයේ මාසික සභා රැස්වීමක් හෝ පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසුව සම්මේලනයේ විධායක සභාව රැස් කරවා නැති බවත් එහිදී හෙළිවිය.

ඒ අනුව සම්මේලනයේ ඉදිරි නිලවරණයට අදාළව දිස්ත්‍රික් සංගම් ස්ථාපිත කිරීම ඉදිරි මාස කිපයක් ඇතුළතදී නිමාවට පත් කළ යුතු බවට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපදෙස් දී තිබේ. කෙසේ වුවත් මේ වනවිට සම්මේලනයට අනුබද්ධ සංගම් හැරෙන්නට දිස්ත්‍රික් සංගම් අතරින් කුරුණෑගල, ගම්පහ, මහනුවර, මොනරාගල, යාපනය, ගාල්ල යන දිස්ත්‍රික් සංගම් ස්ථාපිත කිරීමට කායවර්ධන සම්මේලනය පියවර ගෙන තිබේ.
කායවර්ධන සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංග මහතා පවසන්නේ තවත් දිස්ත්‍රික් සංගම් 19ක් පිහිටුවීමට පියවර ගත යුතු බවය.

ක්‍රීඩා පනතේ නව වගන්ති සංශෝධනයන්ට අනුව ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ ව්‍යවස්ථාව ද සංශෝධනය කර තිබේ. එහිදී නිලවරණය සඳහා මෙතෙක් ඡන්දලාභීන් බවට පත්ව සිටි ක්‍රීඩා සමාජ වෙනුවට දිස්ත්‍රික් සංගම්වලට එම අවස්ථාව උදාවේ.

දිස්ත්‍රික් සංගමයක් ස්ථාපිත කිරීම සඳහා අවම වශයෙන් ක්‍රීඩා සමාජ දෙකක සාමාජිකත්වයක් තිබිය යුතුය.

සම්මේලන නිලවරණයේදී එවැනි එක් දිස්ත්‍රික් සංගමයකට ඡන්ද තුනක් ලකුනු කිරීමේ අවස්ථාව හිමිවේ.

දිස්ත්‍රික් සංගම් පිහිටුවීමේදී අදාළ දිස්ත්‍රික්කයට අයත් සියලුම ක්‍රීඩා සමාජ හවුල් කර ගන්නා ලෙස කායවර්ධන සම්මේලනයේ ප්‍රධානීන්ට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුමාල මහතා උපදෙස් දී තිබේ. නිලවරණයේදී තනතුරු සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී අවම වශයෙන් ක්‍රීඩා සමාජ නියෝජිතයන් එක් වසරකට නොඅඩු කාලයක් කටයුතු කර තිබිය යුතුය.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලවරණයක් අවසන් වරට පවත්වා ඇත්තේ වසර 2015 මැයි මාසයේදීය.

ෆයිසර් මුස්තාපා මහතාට පෙර ක්‍රීඩා අමාත්‍යධුරය දැරූ දයාසිරි ජයසේකර මහතා උපදෙස් දී තිබුණේ ක්‍රීඩා පනතේ නව රෙගුලාසි වලට අනුව යමින් සිය ව්‍යවස්ථාව සංශෝධනය කරගැනීමෙන් පසුව එහි නව නියමයන්ට අනුව කායවර්ධන සම්මේලන නිලවරණය කැඳවිය යුතු බවය.

 කෙසේ වුවත් කායවර්ධන සම්මේලනයේ වත්මන් සභාපතිවරයා එහි පසුගිය ගිණුම් වාර්තා සඳහා සිය අනුමැතිය ලබාදීම දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තාවේ. ඒ තමන්ට එහි ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් වගකීම් බාරගත නොහැකි බව දක්වමින් යැයි ද වාර්තාවේ.

ඒ අතර ඔහු චෝදනා කරන්නේ සම්මේලනයේ වත්මන් අර්බුදයන්ට වගකිවයුත්තා ලේකම්වරයා බවයි. එම චෝදනාවම ගෙන එමින් ලේකම්වරයා පවසන්නේ ඊට වගකිව යුත්තේ තමා නොව සභාපතිවරයා බවයි. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමග පැවති සාකච්ඡාවේදී ද ඔවුන් දෙදෙනා වාග් ප්‍රහාර එල්ල කර ගත් බව වාර්තාවේ.

 


අදහස් (0)

කායවර්ධන නිලවරණය තියන්න නියෝග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.