Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 2032 ඔලිම්පික් බ්‍රිස්බේන් නුවරට

2032 ඔලිම්පික් බ්‍රිස්බේන් නුවරට

editorial - 2021 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2032 දී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේ අවස්ථාව ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරට හිමිවී තිබේ. එහි වගකීම බ්‍රිස්බේන් නුවරට පැවරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලයේ අනුමැතිය අද හිමිවිය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සංවිධානය කිරීමේ අවස්ථාව ඕස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ වසර 32 කට පසුවය. මීට ඉහත 1956 දී මෙල්බර්න් නුවරදීත්, වසර 2000 දී සිඩ්නි නුවරදීත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේදී පැවැත්විණ.

“මේක ඓතිහාසික මොහොතක්. බ්‍රිස්බේන් නුවරට සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට විතරක් නෙමේ. සමස්ත ඕස්ට්‍රේලියාවටම සාඩම්බර මොහොතක්” යයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගනුවර වන බ්‍රිස්බේන් නගරය පසුගිය පෙබරවාරි මාසයේදී තෝරා ගන්නා ලදි. එහෙත් එය නිල වශයෙන් අද නිවේදනය කළේය. ඒ වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 77 ක් අතුරින් බ්‍රිස්බේන් නුවර සඳහා ඡන්ද 72 ක් ලැබිණ. ඇමරිකා එක්සත් ජනපදය හැරුණු විට එකම රටක නගර තුනකදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමට අවස්ථාව හිමිවී ඇත්තේ ඕස්ට්‍රේලියාවට පමණි.

ඕස්ට්‍රේලියාවට අවස්ථාව හිමිවූ නමුත් 2032 ඔලිම්පික් උළෙල සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව, හංගේරියාව (බුඩාපේස්ට්), චීනය, කටාරය සහ ජර්මනියද උනන්දු වී තිබිණ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උප සභාපතිවරයකු වන්නේ ඕස්ට්‍රේලියානු ඔලිම්පික් සංගමයේ සභාපති ජෝන් කෝට්ස් මහතාය. කෝට්ස් මහතා පැවසූයේ බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ඊට සහභාගි වන්නන්ට අමතක නොවන අත්දැකීමක් කරන බවයි.

මේ වන විට 71 වැනි වියේ පසුවන ජෝන් කෝට්ස් මහතාට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වයස් සීමාව වන 74 පිරීම නිසා වසර 2024 දී එය හැරයාමට සිදුවනු ඇත. කෝට්ස් මහතාගේ කලින් උත්සාහය වූයේ 1992 ඔලිම්පික් උළෙල බ්‍රිස්බේන් නුවරට දිනාගැනීමයි.

වසර 2024 ඔලිම්පික් උළෙල පැරීසියේදී පැවැත්වෙන අතර 2028 ඔලිම්පික් උළෙල ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වීමට නියමිතය.

- 213

 


අදහස් (0)

2032 ඔලිම්පික් බ්‍රිස්බේන් නුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.