නාමල් පතිරගේ
වසර 2025 ට කිසිඳු තරගාවලියක් සංවිධානය නොකළ බව කියන ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය මෙම වසරේ පළමු තරගාවලිය එළඹෙන සති අන්තයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.එසේ සම්මේලනය සිය තරගාවලියක් සංවිධානය කරන්නේ වසරකුත් මාස කීපයක් නිකරුණේ කාලය ගත කරමින් සිටියදීය.
ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ හිටපු විධායක නිලධාරී තීක්ෂණ ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ ඉහත කාලය තුළදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගිත්වයද එක් තරගාවලියකට පමණක් සීමාවී තිබූ බවයි.ඒ ඉරානයේ පැවැති ශ්‍රේණිගත තරගාවලියක් සදහා ශ්‍රී ලංකාව සහභාගි වීමයි.
මේ අතර බේස්බෝල් සම්මේලනයේ ලේකම් හා භාණ්ඩාගාරික යන ධූර හැරෙන්නට විධායක සභාවේ තවත් ධුර කීපයක්ම මේ වන විට හිස්ව පැවැතියත් එවා පිරවීමට මෙතෙක් කටයුතු කර නැතැයිද වාර්තාවේ.
සිය ධූර කාලයට කලින් ඉල්ලා අස්වූ තීක්ෂණ ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ තමන්ට ධූරයේ කටයුතු පවත්වා ගෙන යාමට නොහැකි වාතාවරණයක් සම්මේලනය තුළ ගොඩ නැගෙමින් තිබියදී තමන් එයින් ඉල්ලා අස්වූ බවයි.
සම්මේලනයේ වැඩ භාර ගැනීමෙන් පසුව තමන්ට නිරීක්ෂණය වූ කරුණු අනුව එහි පෙර පාලන සමයේ අවුරුදු දෙකක පමණ කාලයක නිල වෙබ් අඩවියට ලැබී තිබූ විද්‍යුත් (ඊමේල්) පණිවුඩ මකා දමා තිබූ බවත් විධායක නිලධාරී ලෙස සම්මේලනයේ නිල වෙබ් අඩවියේ මුර පද ලබා ගැනීමට තමන් දැරූ උත්සාහයට විධායක සභාවේ සහාය නොලැබුණු බවත් ඔහු පවසයි.
ඒ හේතුවෙන් එම විද්‍යුත් පණිවුඩ බලා ඒවාට ප්‍රතිචාර දැක්වීම සම්මේලනයේ විධායක නිලධාරියා ලෙස තමන්ට ගැටළු ඇති කරවූ බවත් ඔහු පවසයි.ඒ පිළිබදව ඔහු විධායක සභා රැස්වීම් වලට සහභාගි වී කරුණු ඉදිරිපත් කළත් ඒවා වාර්තා ගත කර ගැනීමට කටයුතු කර නැත.
ජපානයේ වෙසෙන බේස්බෝල් විනිසුරුවකු වන සුජීව විජේනායක මහතාට සම්මේලනයේ උප සභාපති ධූරයක් ලබාදීමේදී විධායක සභාව නිවැරදි පිළිවෙතින් බැහැරවීම,වසර 2024 දී ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියෙන් සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩුබායි තරග සංචාරයට එහි එක් නිලධාරීයකු සිය පවුලේ අය අනවසරයෙන් සහභාගි කර ගැනීම,එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස සහභාගි වූ ජපන් ජාතිකයාට සිය මුදලින් ඩුබායි නුවරදී නවාතැන් (හෝටල) පහසුකම් සලසා ගැනීමට සිදුවීම,පැවැති විශේෂ මහ සභා රැස්වීමට සම්මේලනයේ මීළග නිලවරණය කැඳවීම පිළිබදව ඉදිරිපත්වූ යෝජනාව වාර්තාගත නොවිම ආදී කාරණා ගණනාවක්ම එහිදී ගම්මන්පිල මහතා සිය අවධානයට යොමු කර ගෙන තිබේ
තීක්ෂණ ගම්මන්පිල මහතා ජාතික බේස්බෝල් (පිරිමි) කණ්ඩායමේ හිටපු උප නායකයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.