Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කඩු හරඹ ශූරතාවලිය 30 දා ඇරඹේ

ජාතික කඩු හරඹ ශූරතාවලිය 30 දා ඇරඹේ

ශානුක අරවින්ද - 2020 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කරන 8 වැනි ජාතික කඩු හරඹ ශූරතාවලිය සහ ජාතික කනිෂ්ඨ කඩු හරඹ ශූරතාවලිය මේ මස 30 වැනිදා සිට පෙබරවාරි මස 2 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කඩු හරඹ සමාජ 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 224 දෙනෙක් මෙවර ශූරතාවලියට එක්ව සිටිති.

ජාතික කඩු හරඹ ශූරතාවලියේදී සැහැල්ලු අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සබි්‍ර) යන කාණ්ඩ 3 යටතේ පිරිමි සහ කාන්තා අංශ දෙක සඳහාම කේවල සහ කණ්ඩායම් තරග පැවැත්වේ.

ජාතික කනිෂ්ඨ කඩු හරඹ ශූරතාවලියේදී සැහැල්ලු අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සබ්‍රි) යන කාණ්ඩ 3 යටතේ අවුරුදු 19 න් පහළ සහ 15 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කේවල සහ කණ්ඩායම් තරග පැවැත්වේ.

කේවල අංශයේ මූලික වටයේ තරග වලදී එක් එක් අසිපත් කාණ්ඩ යටතේ (ෆොයිල්, එපී සහ සබි්‍ර) ඉහළම දස්කම් දක්වන කඩු හරඹ ක්‍රීඩකයන් 8 දෙනා බැගින් තෝරාගෙන, අර්ධ අවසන් පූර්ව වටයට යොමු කෙරෙන අතර එතැන් සිට අවසන් මහ තරගය දක්වා තරග පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුවය.

අවසන් මහ තරග වලට සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන් සහ රිදී පදක්කම් හිමිවන අතර අවසන් පූර්ව වටයෙන් පරාජය වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තෙවැනි ස්ථානය තෝරාගැනීමේ තරගයකින් තොරවම ලෝකඩ පදක්කම් හිමිවේ.

තරගාවලියේ සමස්ත ශූරතාව සහ අනු ශූරතාවට අමතරව දක්ෂතම කඩු හරඹ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහාද එහිදී කුසලාන පිරිනැමීමට නියමිතය. මාස් සමාගම සහ ලිට්‍රෝ ගෑස් සමාගම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.


අදහස් (0)

ජාතික කඩු හරඹ ශූරතාවලිය 30 දා ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.