ඉන්දියාවේ මේ වසර මුලදී පැවැති 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී පදක්කම් හතක් දිනූ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක චෙරන්ත ද සිල්වා වසරක විශේෂ පුහුණුවක් සඳහා ලබන ඉරිදා (02 වැනිදා) තායිලන්තය බලා පිටත්ව යයි.
තායිලන්තයේ පිහිටි ඉතාමත් දියුණු තාක්‍ෂණ උපකරණ වලින් සමන්විත ෆීනා පිහිනුම් ඇකඩමියේදී ස්පාඤ්ඤ ජාතික ප්‍රවීණ පුහුණුකරු මිගෙල් ලෝපේස් මහතා යටතේ චෙරන්ත පුහුණුව ලැබීමට නියමිතය.
වර්තමාන ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩකයන් අතරින් සමනළ ආර ඉසව්වට විශේෂ හැකියාවක් දක්වන චෙරන්ත මීටර 200, මීටර 100 සහ මීටර 50 යන සමනළ ආර යන ඉසව් තුනේම ශ්‍රී ලංකා වාර්තා පිහිටුවූ ක්‍රීඩකයෙක් වන අතර ඔහු මේ වන විටත් මීටර 200 (විනාඩි 2.07:05) සහ මීටර 50 (තත්පර 25.07) සමනළ ආර ඉසව්වල ශ්‍රී ලංකා වාර්තාවලට හිමිකම් කියයි.
චෙරන්ත, ගුවහටිහිදී පැවැති සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගත්තේය. චෙරන්ත මීට පෙර ද තායිලන්තයේ ෆීනා පිහිනුම් ඇකඩමියේ මාස අටක පුහුණුවක් ලබා ලැබූ අතර ඉන් පසුව ඔහු හොඳ දියුණුවක් ලබා තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන 20 හැවිරිදි චෙරන්ත වැඩි දුර අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවේ ශිෂ්‍යත්වයක්ද ලබා සිටියි.
චෙරන්තගේ නිවුන් සොහොයුරිය චෙරනි ද සිල්වා, සොයුරන් වන හිරාන් ද සිල්වා සහ පසුගියදා හදිසි අනතුරකින් වියෝ වූ නදීෂ් ද සිල්වාත් ජාතික මට්ටමේ පිහිනුම් දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.