ශ්‍රී ලංකා බොක්සිං සංගමය මේ වසර (2018) වෙනුවෙන් සංවිධානය කරන පළමු බොක්සිං තරගාවලිය වන ආධුනික බොක්සිං තරගාවලිය ජූනි මස 2 වැනිදා දක්වා රාජකීය විදුහල් ගෘහස්ත බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය ඊයේ (28 වැනිදා) ආරම්භ වූ අතර අධි පොසොන් පොහොය හේතුවෙන් අද (29 වැනිදා) දිනයේදී තරග නොපැවැත්වෙන අතර හෙට දිනයේ (30 වැනිදා) පස්වරු 3.00 සිට නැවතත් තරග පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යෙදා තිබේ.
වයස අවුරුදු 19 ට වැඩි සහ අවුරුදු 40 ට අඩු නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම තරගාවලිය සඳහා සහභාගි වී සිටින අතර ඔවුන් මින් පෙර ආධුනික, අතරමැදි, ලේටන් කුසලාන, ක්ලිෆඞ් කුසලාන හෝ ජාතික ශූරතා බොක්සිං තරගාවලිවලදී ජයග්‍රහණ නොලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.
මෙම තරගාවලියේදී එක් එක් බර පංතිවල ශූරතා සහ අනුශුරතා හිමිකරගන්නා සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලේටන් කුසලාන, ක්ලිෆර්ඞ් කුසලාන සහ ජාතික ශූරතා බොක්සිං තරගාවලිවලදී තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගනු ඇත.
අන්තර් ජාතික බොක්සිං නීති රීති වලට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම පිරිමි සහ කාන්තා තරගයක්ම විනාඩි තුන බැගින් වූ වට තුනකින් සමන්විත වේ. සෑම තරග වටයක් අවසානයේදීම තරගකරුවන්ට මිනිත්තුවක විවේක කාලයක්ද හිමිවේ.
තරගාවලියේ පිරිමි තරග කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ සිට කිලෝ ග්‍රෑම් 91 ට වැඩි බර පන්තිය දක්වා පැවැත්වෙන අතර කාන්තා තරග කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ සිට කිලෝ ග්‍රෑම් 81 ට වැඩි බර පන්තිය දක්වා පැවැත්වේ.
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, යුනිචෙලා, තුරුලිය, විද්‍යාර්ථ, ලිනියා, රාජකීය, පේරාදෙණිය, විද්‍යාරතන සහ සීවලී වැනි දිවයිනේ බොක්සිං ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩා සමාජ සහ පාසල් රැසක් නියෝජය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 150 ක් පමණ මෙවර තරගාවලිය සඳහා සහභාගී වී සිටිති.
ඉකුත් වසරේදී (2017) පැවැති තරගාවලියේ දක්ෂම ක්‍රීඩකයා ලෙස හෙළ බොක්සිං සමාජයේ කසුන් මධුරංගද, දක්ෂම ක්‍රීඩිකාව ලෙස ලිනියා බොක්සිං සමාජයේ කුමාරි ගමගේද සම්මාන දිනාගත්හ. එම තරගාවලියේදී ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයේ බුද්ධික මනරම් දක්ෂතම පරාජිතයා බවටද, හෙළ බොක්සිං සමාජයේ එස්.එස්. බෙරෙන්ජර් දක්ෂතම පරාජිකාව බවටද පත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.