මේ දිනවල පවතින වැසිබර කාලගුණය හේතුවෙන් ‘රාම් රත්නවේල් අනුස්මරණ කුසලාන’ වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ අවසන් මහ තරග දින නියමකින් තොරව කල් දැමීමට එහි සංවිධායකයන් පියවර ගෙන තිබේ. මෙම තරග සියල්ලම කොළඹ 5 හෙන්රි පේද්‍රිස් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබිණ.
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේදී කාණ්ඩ 7 ක් වෙනුවෙන් අවසන් මහ තරග 7 ක් පැවැත්වීමට නියමිතව තිබුණද, වර්ෂාව හේතුවෙන් මේ දක්වා පැවැත්වීමට හැකි වී ඇත්තේ එක අවසන් මහ තරගයක් පමණි.
ඊයේ (16 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ‘බී’ කාණ්ඩයේ කාන්තා අවසන් මහ තරගය සහ ‘ඩී’ කාණ්ඩයේ පිරිමි අවසන් මහ තරගය වර්ෂාව හේතුවෙන් කල් දැමීමට සිදුවිය. එම තරගවලදී පිළිවෙලින් මාස් හෝල්ඩින්ස් කණ්ඩායමට එරෙහිව ඬේවිඞ් පීරිස් කණ්ඩායමද, වර්තූසා කණ්ඩායමට එරෙහිව එච්.එස්.බී.සී. කණ්ඩායමද තරග වැදීම නියමිතව සිටියහ.
රණවන ආරක්‍ෂක සේවා කණ්ඩායම සහ සෙලාන් බැංකු කණ්ඩායම අතර ‘සී’ කාණ්ඩයේ අවසන් මහ තරගය මෙන්ම ජෝන් කීල්ස් කණ්ඩායම සහ කැන්රිච් මූල්‍ය ආයතන කණ්ඩායම අතර ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයද අද (17 වැනිදා) දිනයේදී පැවැත්වීමට සැළසුම් කර තිබිණ. එහෙත් වර්ෂාව හේතුවෙන් එම තරග දෙකද පැවැත්වීමට නොහැකි තත්වයක පැවතිණ.
එම කරුණු සැළකිල්ලට ගනිමින් පැවැත්වීමට නොහැකි වූ අවසන් තරග 4 නැවත පැවැත්වීමට නිශ්චිත දිනයක් යොදාගන්නා තෙක් එම තරග දින නියමයකින් තොරව කල් දැමීමට තරගාවලියේ සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.