Last Update  :  2025-07-13 18:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports යෙවාන් ඩේවිඩ් පියවරක් පසුබසී
යූරෝ ෆෝමියුලා ශූරතාවලිය

යෙවාන් ඩේවිඩ් පියවරක් පසුබසී

editorial - 2025 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

‘යූරෝ ෆෝමියුලා’ ශූරතාව සඳහා යුරෝපී රටවල්වලදී පැවැත්වෙන ෆෝමියුලා-1 තරගාවලි මාලාවේ මුල් අදියර 3 පුරා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ්ට, සිවුවැනි අදියර නිමාවට පත්වන විට එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත. 

එම තරග මාලාවේ සිවුවැනි අදියර ලෙස හංගේරියාවේ හංගරෝරිං ධාවන පථයේදී පැවැති ෆෝමියුලා-1 තරගාවලියේ පළමු තරගය 8 වැනියා ලෙස නිමා කළ ඩේවිඩ්, දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් තෙවැනියා සහ සිවුවැනියා ලෙස අවසන් කිරීමට සමත් විය. ඒ අනුව එම තරගාවලියේදී ඔහු හිමිකරගත් ලකුණු සංඛ්‍යාව 31 කි. 

මෙම තරගාවලියට පෙර ලකුණු 163 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඩේවිඩ්, මෙම තරගාවලියේදී ලබාගත ලකුණු 31 ත් සමග සිය මුලු ලකුණු සංඛ්‍යාව 194 ක් දක්වා ඉහළ දමාගත්තේය. එහෙත් මෙම තරගාවලියේදී සිවුවැනි ස්ථානයක්, පළමු ස්ථානයක් සහ තෙවැනි ස්ථානයක් සමගින් ලකුණු 45 ක් ලබාගත් මයිකල් ෂින් මුලු ලකුණු 198 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය. 

මෙම තරගා මාලාවේදී එක් තරගයක පළමු ස්ථානය සඳහා ලකුණු 25 ක්ද, දෙවැනි ස්ථානය සඳහා ලකුණු 18 ක්ද, තෙවැනි ස්ථානය සඳහා ලකුණු 15 ක්ද, සිවුවැනි ස්ථානය සඳහා ලකුණු 12 ක්ද, පස්වැනි ස්ථානය සඳහා ලකුණු 10 ක්ද, හයවැනි ස්ථානය සඳහා ලකුණු 8 ක්ද, හත්වැනි ස්ථානය සඳහා ලකුණු 6 ක්ද, අටවැනි ස්ථානය සඳහා ලකුණු 4 ක්ද, නමවැනි ස්ථානය සඳහා ලකුණු 2 ක්ද, 10 වැනි ස්ථානය සඳහා ලකුණු 1 ක්ද, ඉදිරිපෙළ තරග ආරම්භක ස්ථානය සහ වේගවත්ම වටය සඳහා එක් ලකුණ බැගින්ද ලබා දෙනු ඇත. 

මෙය යෙවාන්ගේ පළමු ‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාව වන අතර මින් පෙර පැවැති තරගාවලි 3 දී මෙන්ම මෙම තරගාවලියේදීද දක්ෂතම නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට ඩේවිඩ්ට හැකි විය. පෘතුගාලයේදී, බෙල්ජියමේදී සහ ජර්මනියේදී පැවැති තරගාවලීන්හි දක්ෂතම නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගනු ලබුවේද ඩේවිඩ් විසිනි. 

‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාවේ තවත් අදියර 4 ක් මෙම වසර තුළදී පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගාවලි ජූලි මාසයේදී ප්‍රංශයේදීද, සැප්තැම්බර් මාසයේදී ඕස්ටි්‍රයාවේදී සහ ස්පාඤ්ඤයේදීද, ඔක්තෝබර් මාසයේදී ඉතාලියේදීද පැවැත්වීමට නියමිතය. 


අදහස් (0)

යෙවාන් ඩේවිඩ් පියවරක් පසුබසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.