වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන ‘රාම් රත්නවෙල් අනුස්මරණ කුසලාන’ වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය.
තිඹිරිගස්යාය, හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී රණවන කණ්ඩායමට එරෙහිව ලකුණු 75-73 ක තියුණු ජයක් වාර්තා කරමින් සෙලාන් බැංකු ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම ලකුණු 38-34 ක් ලෙස සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 4 ක් ඉදිරියෙන් සිටි නමුත් දෙවැනි අර්ධය නිමාවන විට එම පරතරය ලකුණු 2 දක්වා අඩුකර ගැනීමට රණවන කණ්ඩායමට හැකි විය.
අවසන් මහ තරගයේදී සෙලාන් බැංකු කණ්ඩායම වෙනුවෙන් ඩියෝන් මුතුකුමාරණ සහ ගයාන් සමරවීර ලකුණු 19 බැගින්ද, නවීන් බණ්ඩාර සහ ධනංජය පොල්කොටුව ලකුණු 16 බැගින්ද රැස්කළ අතර රණවන කණ්ඩායම වෙනුවෙන් ඩිලාන් පෙරේරා ලකුණු 18 ක්ද, සමීර සඳරුවන් ලකුණු 17 ක්ද රැස්කළහ.
සෙලාන් බැංකු කණ්ඩායමේ ඩියෝන් මුතුකුමාරණ අවසන් තරගයේ වීරයා ලෙසත්, එම කණ්ඩායමේම නවීන් බණ්ඩාර ‘සී’ කාණ්ඩයේ වටිනාම ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.