Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ​ජනපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය නව මුහුණුවරකින්

​ජනපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය නව මුහුණුවරකින්

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

හොරණ නගර සභා පිටියේ දී හෙට (30) පෙරවරු 9 ට ආරම්භ වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගමාලාවට වෙනස්කම් රැසක් හඳුන්වාදී තිබේ. මෙම වොලිබෝල් තරගාවලිය මෙතෙක් විවෘත තරගාවලියක් ලෙස පැවැත්වුවත් මෙවර එය වයස 25 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් සීමා කර තිබේ.

තරගාවලියේ තවත් වෙනස්කමක් වන්නේ දිස්ත්‍රික් තරග වටයෙන් එහි ආරම්භය සිදුවුවත් මෙවර එය කෙළින්ම පළාත් තරගාවලියක් ඔස්සේ ආරම්භ කිරීමට කටයුතු යෙදීමය.

කෙසේ වුවත් පළාත් නවය ආවරණය වන පරිදි තරගාවලිය පැවැත්වීමේ දී එක් පළාත් තරගාවලියක් සඳහා අදාළ දිස්ත්‍රික්ක නියෝජනය වන කණ්ඩායම් සහභාගී කර ගැනේ. ඒ අනුව අද හොරණ දී පැවැත්වෙන්නේ කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක පදනම් කර ගත් බස්නාහිර පළාත් තරගවලියයි.

එහිදී පළාත් ශූරතාව හා අනුශූරතාව හිමිකර ගන්නා කාන්තා හා පිරිමි කණ්ඩායම් හතරක් ඊළඟට ඇරඹෙන ජාතික (අවසන්) තරග වටයට නිර්දේශ කෙරේ. ඒ අනුව පළාත් නවයේම තරගාවලි අවසානයේ දී ජාතික තරග වටය සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 18 ක් බැගින් මුළු කණ්ඩායම් 36 ක් තෝරා ගැනේ.

මෙතෙක් තරගාවලියේ පදනම වූයේ දිස්ත්‍රික් හා කලාප මට්ටමින් පැවැති මූලික වටයේ නිර්දේශ වන කාන්තා හා පිරිමි ශූරතා හා අනුශූරතාලාභී කණ්ඩායම් 100 ක් ජාතික තරග වටයට එක් කර ගැනීමයි.

අදින් ආරම්භ වන පළාත් තරගවටය සඳහා සහභාගී වන කණ්ඩායම් වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගැනීමේ දී එකී ක්‍රීඩාසමාජ නියෝජනය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිත්‍ය පදිංචිකරුවන් පමණක් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට සහභාගී කර ගැනීම අනිවාර්ය වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට සැළසුම් කර ඇති අවසන් මහ තරග සමග නිමාවට පත් කෙරේ. මූලික පළාත් තරග වටය ලබන අප්‍රේල් මාසයේ දී පවත්වා අවසන් කෙරේ. ජාතික තරග වටය ජුනි, ජූලි කාලසීමාවේ දී පවත්වා අවසන් කිරීමට නියමිතව ඇත.

මෙවර තරගාවලිය වයස 25 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් තරග සංවිධායකයන් ප්‍රකාශ කරන්නේ ජාතික වොලිබෝල් කණ්ඩායම් සඳහා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් බලපෑම් දැඩි කිරීම සඳහා ගත් උපක්‍රමයක් ලෙස එය හැඳින්විය හැකි බවයි.

වසර 2023 තරගමාලාවේ පිරිමි ශූරතාව නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජයත් (අනුශූරතාව ගම්පහ සියනෑ තරු ක්‍රී.ස.),  කාන්තා ශූරතාව කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයත් ( අනුශූරතාව රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රී.ස.) විසින් දිනා ගන්නා ලදි.

මෙරට ක්‍රීඩා ඉසව් ගණනාවකටම වාර්ෂිකව අනුග්‍රහය දක්වන ඩයලොග් ආසියාටා සමාගම මෙවර 14 වැනි වසරටත් මෙම වොලිබෝල් තරග මාලාව සඳහන් අනුග්‍රහය ලබාදේ.

රුපියල් 150000 සිට සමස්ත තරග මාලාවේ ශූරයන් හා අනුශූරයන් සඳහා මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම හැරෙන්නට පළාත් තරග වටයේ ශූරතාවයන් හා අනුශූරතාවයන් වන කණ්ඩායම් සියල්ලටමත් විශේෂ ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමත් සිදු කෙරේ.


අදහස් (0)

​ජනපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය නව මුහුණුවරකින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.