Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ටැන්ලි ජයසිංහ උපහාර උළෙල හෙට

ස්ටැන්ලි ජයසිංහ උපහාර උළෙල හෙට

editorial - 2021 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

--------------------
දමින්ද විජේසූරිය
--------------------

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, දැනට සිටින වයෝවෘද්ධතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ස්ටැන්ලි ජයසිංහ මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් හෙට (3 වැනිදා) කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර ශාලාවේදී පැවැත්වේ.

1931 ජනවාරි මස 19 වැනිදා බදුල්ලේදී උපත ලද ස්ටැන්ලි ජයසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසියේය. නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් සිටියදීම, යන්තම් 18 වැනි වියේදී ජාතික කණ්ඩායමට (එවකට ලංකා කණ්ඩායම) නියෝජනය කළ ස්ටැන්ලි ජයසිංහ උසස් ගණයේ පිතිකරුවකු විය.

ස්ටැන්ලි ජයසිංහ මහතා, පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ මුල්ම ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් අයකුද වෙයි. එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියොජනය කරමින් ජයසිංහ මහතා පළමු පෙළ තරග වලට සහභාගි වූයේය. ගාමිණී ගුණසේන සහ ක්ලයිව් ඉන්මන් 1982 ට පෙර පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ අනෙක් දෙදෙනාය.

50 දශකය ආරම්භයේ සිටම, එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී ලෙස්ටර්ෂයර් පිල වෙනුවෙන් පළමු පෙළ තරග 144 කට ක්‍රීඩා කළ ස්ටැන්ලි ජයසිංහ මහතා ලකුණු 6811 ක් ලබාගත්තේ ශතක 10 ක් ද සිය වාර්තාවට ඇතුළත් කරමිනි.

මේ වන විට ජනප්‍රියත්වයේ ඉහළම තලයේ තිබෙන එක්දින අන්තර්ජාතික තරග ආරම්භ වූයේ 1971 දීය. එහෙත් එක්දින තරග අත්හදා බැලීමේ මට්ටමින් සංවිධානය කිරීමට සාකච්ඡා කෙරුණු 1962 දී, ලෝකයේ පළමු වැනි එක්දින තරගයට ද ක්‍රීඩා කළ ස්ටැන්ලි ජයසිංහ මහතා එදා ඩාර්බිෂයර් පිලට එරෙහිව නොදැවී ලකුණු 49 ක් ලබාගත්තේය.

“පිළිමළුන් පිටුදැකීමේ මිඩ්ලන්ඩ්ස් තරගාවලිය” ලෙසින් හැඳින්වූ මෙම තරගය 1962 මැයි මස 2 වැනිදා ග්‍රේස් රෝඩ්හි ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කෙසේ වෙතත් මෙම තරගය අත්හදා බැලීමේ තරගයක් වූ බැවින් එය පළමු වැනි නිල එක්දින තරගය ලෙසින් නොසැලකේ.

ලෝකයේ පළමු වැනි නිල එක්දින තරගය ලෙසින් හැඳින්වෙන්නේ 1963 මැයි මස 1 වැනිදා (මෙම තරගය මැයි 2 වැනිදාටත් ඇදී ගියේය) පැවැති ගිලට් කුසලාන තරගයයි. එම තරගයටත් ක්‍රීඩා කළ ස්ටැන්ලි ජයසිංහ මහතා එහිදී ලබාගත්තේ එක ලකුණක් පමණි.

එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පසුව නැවතත් සියරට පැමිණි ජයසිංහ මහතා ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම තණතීරු සකස් කරන්නකු ලෙසද කටයුතු කළේය. 1991 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වශයෙන් කටයුතු කළ ජයසිංහ මහතා ඉන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටියේ එහි තිබූ විවිධ අර්බුද හේතුවෙනි.

ආදි නාලන්දා ක්‍රීඩා සමාජය හෙට දින නාලන්දා විද්‍යාලයේදී පැවැත්වෙන උපහාර උත්සවය සංවිධානය කරයි.

 


අදහස් (1)

ස්ටැන්ලි ජයසිංහ උපහාර උළෙල හෙට
  • Lakmal Attapattu Friday, 02 April 2021 06:04 AM

    නාලන්දීයයන් ඔබ ගැන ආඩම්බරයි.. දිර්ඝායුෂ ලැබේවා...!!! 

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.