Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමන් අමරසිංහ යළි කැඳවයි

සමන් අමරසිංහ යළි කැඳවයි

editorial - 2021 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අත්හිටුවා තිබෙන 2019 වසරට නියමිත ජනාධිපති ක්‍රීඩා  සම්මාන ප්‍රදානෝත්සවය හැකි ඉක්මනින් පවත්වා අවසන් කිරීම සඳහා එහි මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමන් අමරසිංහ මහතා යළි ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයට කැඳවීමට පියවර ගෙන තිබේ.

වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ පත්වීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවය අහිමි වූ සමන් අමරසිංහ මහතා ඒ වනවිට  ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙන ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ භාරකරු ලෙසත් කටයුතු කරමින් සිටියේය.  ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ ඉහළ තනතුරු රැසක් දැරූවෙකි.

වසර 2020  අප්‍රේල් 6 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සූදානම් කර තිබූ 2019 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හමුවේ දිගින් දිගටම කල් ගියේය. එය මේ දක්වා පවත්වා අවසන් කිරීමට නොහැකි වූ ඊළඟ කරුණ වූයේ වසර 2015 ආරම්භක සම්මාන උළෙලේ සිට එහි මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කළ සමන් අමරසිංහ මහතාගේ ක්‍රීඩා අමාත්‍යාංශ සේවය අවසන්වීමය.

2019 සම්මාන උළෙලේ සංවිධාන කටයුතු අතරමග අමරසිංහ මහතාගේ හැරයාම එහි කටයුතු ඉදිරියට පවත්වා ගෙනයාමට විශාල බාධාවක් වූයේ ඒ පිළිබඳව දැනුවත් වීම් ලබා සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙනත් නිලධාරියෙකු නොමැතිවීම නිසා බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.  කෙසේ වුවත් 2019 සම්මාන ප්‍රදානෝත්සවයේ මෙහෙයුම් කමිටුවේ යලි වැඩ බාර ගත් සමන් අමරසිංහ මහතා එය ලබන නොවැම්බර් මාසය අවසන්වීමට පෙර පැවැත්වීමට උත්සාහ ගනිමින්  සිටින බවද වාර්තාවේ.

 ප්‍රධාන සම්මාන 42ක් ඇතුළුව ඇගයීමේ සම්මාන පදක්කම් හෝ සහතික පත්‍ර 200කට ආසන්න ගණනක් ප්‍රදානය වන 2019 ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය සඳහා දිනයක් තහවුරු කිරීම රටේ සංවරණ සීමා ඉවත්වීමෙන් පසුව සිදු කිරීමට තීරණය කර තිබේ.

එහෙත් සංචරණ සීමා දිගින් දිගටම රට තුළ පවතින තත්ත්වයක් උද්ගත වන්නේ නම් එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෝ අරලියගහ මන්දිරයේදී හෝ වෙනත් ස්ථානයකදී ආරාධිතයන්ගෙන් තොරව සම්මානලාභීන් පමණක් සහභාගි කර ගනිමින් පැවැත්වීමට මේ වනවිට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

කෙසේ වුවත්  ශාලාවක සම්මාන උත්සවය පවත්වන්නේ නම් එය සම්මාලාභීන්ද ඇතුළුව ආරාධිතයන් 600 දෙනකුට  සීමා කරමින් පැවැත්වීමට කටයුතු කෙරේ. මින් පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වූයේ 1200 දෙනකුගේ සහභාගීත්වයෙනි.

වසර 2019 සම්මාන උත්සවය වසර 2021 නොවැම්බර් දක්වා කල් යන තත්ත්වයක් තුළ මීළඟ සම්මාන ප්‍රදානෝත්සවය 2020-21 යන වසර දෙකට ඒකාබද්ධ කරමින් එකම සම්මාන උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2019 සම්මාන ප්‍රදානෝත්සවයේ ජනප්‍රියතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යන කාණ්ඩ දෙකෙන්ම තෝරා ගැනීම සඳහා ජංගම දුරකතන කෙටි පණිවුඩ  ඔස්සේ මනාපය විමසා බැලීමේ දිනයත් ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරේ. වාර්තාවන පරිදි  2019 ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයේ නිර්දේශිත සම්මාන හතක් සඳහා ඉදිරිපත්ව තිබුණු අභියාචනා විභාග කරමින් සිටින අතර එහි කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.
 


අදහස් (0)

සමන් අමරසිංහ යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.