Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව දඩයෙන් නිදහස් කරයි

ශ්‍රී ලංකාව දඩයෙන් නිදහස් කරයි

editorial - 2022 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු වොලිබෝල් සමුළුව පනවා තිබූ ඇමරිකානු ඩොලර් 15000 ක දඩයෙන් ශ්‍රී ලංකාව නිදහස් කිරීමට එම සමුළුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පිලිපීනයේ මැනිලා නුවරදී ආසියානු වොලිබෝල් සමුළුවේ සභාපතිනි රිටා සුබෝවෝ මහත්මිය මුණගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම දඩය ඉවත් කර තිබේ.

ආසියානු වොලිබෝල් සමුළුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 15000 ක දඩයක් නියම  කළේ මෙම වසරට නියමිත අන්තර් ජාතික වොලිබෝල් තරගමාලා තුනකට සිය සහභාගීත්වය සනාථ කර පසුව එය ඉවත් කර ගැනීම නිසාය. වියදම් සොයා ගැනීමේ ගැටලු මත ශ්‍රී ලංකාව එම ජාත්‍යන්තර තරගමාලා වලින් ඉවත් වන බව ආසියානු වොලිබෝල් සමුළුවට දැනුම්දී තිබුණි.

ජාත්‍යන්තර තරග මාලා සඳහා අයැදුම්කර පසුව ඉවත්වීම ආසියානු වොලිබෝල් සමුළුවේ තරග රෙගුලාසි උල්ලංඝනය කිරීමක් ලෙස සැළකේ.

ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 60 ක් තරම් වන මෙම දඩ මුදල පැනවීමට ආසන්නම හේතුව වූයේ මෙම වසරට නියමිත තෙවැනි ආසියානු සමුළු කාන්තා හා පිරිමි වොලිබෝල් තරගාවලි දෙකෙන් හා ආසියානු ශූරතා වයස 18 න් පහළ (බාළක) තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට ගත් තීරණයයි.

තායිලන්තය, ඉරානය හා කිරිකිස්ථානයේදී මෙම තරගාවලි පැවැත්වීමට නියමිතය.

මැනිලා නුවරදී ආසියානු සමුළු සභාපතිනිය මුණගැසුණු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික වශයෙන්ද පත්ව සිටින දැඩි අපහසුකම් හමුවේ මෙම තරග සංචාර සඳහා වියදම් දැරීම බෙහෙවින් දුෂ්කරවී තිබෙන බැවින් ශ්‍රී ලංකාවට සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව දඩය ඉවත් කිරීමටත් මෙරට වොලිබෝල් ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී තවත් සහන කීපයක් ශ්‍රී ලංකාවට ලබාදීමටත් සිය අවධානය යොමුකරන බවත් ආසියානු වොලිබෝල් සමුළුවේ සභාපතිනි සුබෝවෝ මහත්මිය ප්‍රතිඥා දුන් බව මැනිලා සංචාරය පිළිබඳ ලංකාදීපයට අදහස්දැක්වූ නාලක මහතා වැඩිදුරටත් පැවැසීය.

කෙසේවුවත් ශ්‍රී ලංකාව මෙම වසරේ අගභාගයේදී මාලදිවයිනේ දී පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් (පිරිමි) තරගාවලිය හා බංග්ලාදේශයේදී පැවැත්වෙන් එහි වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගිවීමට අපේක්ෂාවෙන් පසුවේ. ඒ සඳහා සත්කාරකයන්ගේ දායකත්වය ලබා ගැනීමට වොලිබෝල් සම්මේලනය අපේක්ෂා කරයි.


අදහස් (0)

ශ්‍රී ලංකාව දඩයෙන් නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.