ස්විට්සර්ලන්තයේ “ශාන්ත ග්ලේන්” හිදී ලබන සෙනසුරාදා (7) පැවැත්වෙන 22 වැනි විශ්වවිද්‍යාල ලෝක රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් සිවු දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කණ්ඩායම අනිද්දා (4) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
වසර දෙකකට වරක් පිරිමි ඉසව්වක් ලෙස පමණක් පැවැත්වෙන විශ්වවිද්‍යාල ලෝක රට හරහා දිවීමේ තරගාවලිය 1978 දී ආරම්භ වී තිබෙන අතර වසර 2010 දී සිට ඊට සහභාගි වන ශ්‍රී ලංකාව මෙවර පස්වැනි වතාවට තරගාවලිය නියෝජනය කරයි.
ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා සම්මේලනය ස්විට්සර්ලන්ත විශ්වවිද්‍යාල ක්‍රීඩා සම්මේලනයේ සහයෝගයෙන් තරගාවලිය සංවිධානය කරයි. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් සංචාරයට සහභාගි වන ක්‍රීඩකයන් නියෝජනය කරන විශ්වවිද්‍යාලයන්හි දායකත්වයෙන් මෙම තරග සංචාරය සංවිධානය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය ඔසඳ මධුසංඛ බණ්ඩාර, යාපනය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය සිවකුමාර් නිර්මාල්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කෝවින්ද රාජ් කෝකිලනාදන් හා කැලණිය විශ්වවිද්‍යාලයේ වානිජ පීඨයේ ශිෂ්‍ය නලින් බණ්ඩාර වීරසිංහ මෙවර තරග සංචාරයට සුදුසුකම් සපුරා ඇත්තේ පැවැති තේරීම් තරගයකින් පසුවය.
තරග සංචාරයට සහභාගි වන ඔසඳ මධුසංඛ පැවැති ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩකයෙකි. ඒ මැදි දුර ඉසව් සඳහාය.
කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන) ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කණ්ඩායම් ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
පුහුණුකරු ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන) ඩබ්.ඒ. ලලිත් රෝහණ මහතා එහිදී කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.