Last Update  :  2026-02-07 18:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලංවිම සුපර් ලීග් තරග වර්ජනයක

ලංවිම සුපර් ලීග් තරග වර්ජනයක

editorial - 2026 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ජාතික ශූරතා සුපර් ලීග් වොලිබෝල් (පිරිමි) තරගාවලියේ (2025) තෙවැනි ස්ථාන තේරීමේ තරග අද (7) පෙරවරු 8.30 සිට ගම්පහ වතුපිටිවල ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේදී පැවැත්වේ.

එහිදී අද පෙරවරු 8.30 ට නාවික හමුදා  කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම අතර කාන්තා තෙවැනි ස්ථානය තේරීමේ තරගයද, පෙරවරු10.30 ට විදුලි බල  කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර පිරිමි තෙවැනි ස්ථානය තේරීමේ තරගයද පැවැත්වේ.

කෙසේවූවත් අද පැවැත්වෙන පිරිමි තෙවැනි ස්ථානය තේරීමේ තරගයට විදුලි බල මණ්ඩල කණ්ඩායම සහභාගි නොවන බවට තරග සංවිධායකයන්ට දැනුම්දී ඇතැයි වාර්තාවේ.

අවසන් පූර්ව වටයේදී  වරාය අධිකාරි කණ්ඩායමට එරෙහිව විදුලි බල මණ්ඩල කණ්ඩායම ගොනු කර තිබූ විරෝධතාව ඉවත දමමින් විමර්ශන කමිටුව දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඔවුන් අද තෙවැනි ස්ථානය තේරීමේ තරගය වර්ජනය කිරීමට ගත් තීරණය ඊට හේතුවී ඇතැයිද වැඩි දුරටත් වාර්තාවේ

එසේ අද විදුලි බල කණ්ඩායම පිටියට වාර්තා කිරීමට අපොහොසත් වන්නේ නම් ප්‍රතිවාදීන්ට නිතරග ජයක් ප්‍රදානය වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

මේ අතර වාර්තා වන්නේ විදුලි බල කණ්ඩායම අදාළ විරෝධතාව සම්බන්ධයෙන් විමර්ශන කමිටුව ලබා දුන් තීන්දුව අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ හේතුවෙන් අද තරග වැදීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කර තිබේ.මේ සම්බන්ධයෙන් ඔවුන් මීට පෙර ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා වෙතද විරෝධතාවක් බාරදී තිබුණි.

ගම්පහ වතුපිටිවල ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ අවසන් පූර්ව වටයේදී තරග නීති උල්ලංඝණය කරමින් ප්‍රතිවාදී වරාය කණ්ඩායමේ නොවන පිටස්තර ක්‍රීඩකයන් එහි ක්‍රීඩා කළ බවට ප්‍රතිවාදී විදුලි බල මණ්ඩල කණ්ඩායම සිය විරෝධතාවය මගින් චෝදනා කර තිබුණි.

මෙම අවසන් පූර්ව තරගයේදී වට 3 - 2 කින් විදුලි බල මණ්ඩල කණ්ඩායම පරාජය කරමින් වරාය ක්‍රීඩකයෝ ලබන පෙබරවාරි 17 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වෙන සුපර් ලීග් ශූරතා (පිරිමි) අවසන් මහ තරගයට නිර්දේශ ලැබූහ.

වරාය අධිකාරි කණ්ඩායමේ බලධාරීන් විසින් එදින තරගයට සහභාගි කළේ නිත්‍යානුකූලව සිය අධිකාරියේ සේවයට බඳවා ගෙන තිබෙන ක්‍රීඩකයන් බවට ප්‍රතිවාදීන්ගේ අදාළ විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් විමර්ශන කමිටුවට ලිපියක් බාර දුන් බවද එහිදී වාර්තා විය.

සුපර් ලිග් වොලිබෝල් තරග නීති රීති අනුව ක්‍රීඩකයකු කණ්ඩායමකට තරග වදින අවස්ථාවේදී අවම වශයෙන් එහි මාස හයක කාලයක් සම්පූර්ණ කළ යුතුය යන වගන්තියට අනුව ප්‍රතිවාදී කණ්ඩායම මෙම විරෝධතාව ගොනු කළ බවද වාර්තාවේ.

ඒ අනුව සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ (2025) පිරිමි අවසන් මහ තරගය වරාය අධිකාරි කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම අතර පෙබරවාරි 17 වැනිදා අවසන් පූර්ව වටයේදී කණ්ඩායම් නිර්දේෂ වූ පරිදිම කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. එහි කාන්තා අවසන් මහ තරගයට නිර්දේශ ලබා සිටින්නේ ගුවන් හමුදා කණ්ඩායම හා හයිඩ්‍රමනි ඇගළුම් කණ්ඩායමයි.


අදහස් (0)

ලංවිම සුපර් ලීග් තරග වර්ජනයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.