නාමල් පතිරගේ
ජාතික ශූරතා සුපර් ලීග් වොලිබෝල් (පිරිමි) තරගාවලියේ (2025) තෙවැනි ස්ථානය ගුවන් හමුදා කණ්ඩායමට නිතරගයෙන් හිමි විය.එහි කාන්තා ඉසව්වේ තෙවැනි ස්ථානය හිමි වූයේ යුද හමුදා කණ්ඩායමටයි.
පෙරේදා (7) ගම්පහ වතුපිටිවල ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේදී සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථාන තේරීමේ තරග පැවැත්විණි.එහිදී නාවික හමුදා කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම අතර පැවැති කාන්තා තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් වට 2 - 0 ක පහසු ජයක් යුද හමුදා ක්‍රීඩිකාවන්ට හිමි විය.වට දෙකේ ලකුණු සටහන් වූයේ 25/20 -25/21 ක් පරිදිය.
විදුලි බල කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර පිරිමි තෙවැනි ස්ථානය තේරීමේ තරගයට විදුලි බල කණ්ඩායම වාර්තා නොකිරීමෙන් ගුවන් හමුදා කණ්ඩායමට වසර 2025 තරගාවලියේ (පිරිමි) ඉසව්වේ තෙවැනි ස්ථානය නිතරගයෙන් හිමි විය.
කෙසේවූවත් වරාය අධිකාරි කණ්ඩායම සමග පැවැති අවසන් පූර්ව තරගයේ පරාජය (වට 3 - 2) පිළි නොගනමින් විරෝධතාවක් ගොනු කර තිබූ විදුලි බල කණ්ඩායම පෙරේදා පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගය වර්ජනය කරන බවට තරග සංවිධායකයන්ට දැනුම්දී තිබූ බවද වාර්තාවේ.
එහෙත් එම විරෝධතාව ඉවත දමමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ ත්‍රීපුද්ගල කමිටුව කටයුතු කළේය.විදුලි බල කණ්ඩායම සිය විරෝධතාවයෙන් කියා සිටියේ ප්‍රතිවාදී වරාය කණ්ඩායමට තරග රෙගුලාසී උල්ලංඝණය වන ආකාරයෙන් ක්‍රීඩකයන් කීප දෙනෙකු ඇතුළත්ව සිටි බවයි.
එහෙත් එදින වරාය කණ්ඩායමට ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩකයන් සිය කණ්ඩායමට නිත්‍යානුකූලව බදවා ගත් අය බවට එහි බලධාරීන් විමර්ශන කමිටුවට ප්‍රකාශ කර සිටියේය.සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ (2025) පිරිමි අවසන් මහ තරගය වරාය අධිකාරි කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම අතරද, කාන්තා අවසන් මහ තරගය ගුවන් හමුදා කණ්ඩායම හා හයිඩ්‍රාමණී ඇගළුම් කණ්ඩායම අතරද පෙබරවාරි 17 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.