කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 12 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (17 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය නිමා වන විට දෙවැනි ඉනිම වෙන්වෙන් පන්දුවට පහරදෙමින් සිටි ඩී.එස්. සේනානායක විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටියේය. ඩී.එස් දෙවැනි ඉනිමේදී බිඳවැටුණ කඩුලු 5 න් 4 ක්ම ළහිරු විතාන සහ හෂාන් සංදීප අතරේ 2 බැගින් බෙදී ගියහ.
පළමු දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටි මහානාම විදුහල් ක්‍රීඩකයෝ අද දිනයේදී (17 වැනිදා) සිය පළමු ඉනිමට තවත් ලකුණු 134 ත් එක්කර ගැනීමට සමත් වූහ.
ඊයේ තරගය නතර කරන විට ලකණු 39 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි පැතුම් බොතේජු, අද දිනයේදීත් දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 93 ක් දක්වා ඉහළ දමාගත්තද, ශතකයක් කරා යෑමට ඔහුට නොහැකි විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ෂෙනාල් චන්ද්‍රසේකර (56) සමත් වූ අතර විහන් ගුණසේකර (45) අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.
එහිදී හේෂාන් හෙට්ටිආරච්චි ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගනිමින් ඩී.එස්. පිතිකරුවන් අමාරුවේ දැමුවේය. ඩී.එස්. ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා හේෂාන්ට අනගි සහායක් දුන් සොනාල් දිනූෂ සහ හෂාන් සංදීප කඩුලු 2 බැගින් දවාගත්හ.
ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 59 කදී සියලු දෙනා දැවි 156
(ෂෙනාල් චන්ද්‍රසේකර 56, විහන් ගුණසේකර 45, හේෂාන් හෙට්ටිආරච්චි 49/4, හෂාන් සංදීප 45/2, සොනාල් දිනූෂ 18/2)
මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 87.2 කදී කඩුලු 9 ක් දැවී 217
(පැතුම් බොතේජු 93, සොනාල් දිනූෂ 44, පවන්ත විරසිංහ 31, මෙතුෂාන් කුමාර 31/3, අභිනාෂ් කොබුල් 41/3)
ඩී.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31 කදී කඩුලු 5 ක් දැවි 76
(ළහිරු විතාන 8/2, හෂාන් සංදීප 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.