Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ කමිටු පත්කරගැනීමට ජාතික සංගම් 5 ක මහ සභා රැස්වීම්

නිලවරණ කමිටු පත්කරගැනීමට ජාතික සංගම් 5 ක මහ සභා රැස්වීම්

editorial - 2021 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයට ගත් ජාතික ක්‍රීඩා සංගම්  5 ක නිලවරණ පැවැත්වීමේ පළමු උත්සාහය ලෙස මෙම 26 වැනිදා එම ක්‍රීඩාවන්හි ජාතික සංගම්වල විශේෂ මහ සභා රැස්වීම් කැඳවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.  එහි අරමුණ වන්නේ නිලවරණ කැඳවීම සඳහා මෙහෙයුම් කමිටු පත්කර ගැනීමය.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය, ශ්‍රී ලංකා සුළං ඔරු (සර්ෆින්) සම්මේලනය, ශ්‍රී ලංකා ජුඩෝ සම්මේලනය, ශ්‍රී ලංකා සුමෝ සම්මේලනය හා ශ්‍රී ලංකා ‘ජුජිට්ෂු’ සම්මේලනය යන ජාතික ක්‍රීඩා සංගම් පහක මහ සභා රැස්වීම් මෙම 26 වැනිදා පැවැත්වේ. මෙම මහ සභා රැස්වීම් සඳහා එදින පෙරවරු 9.00 සිට ක්‍රීඩා  අමාත්‍යාංශයට අයත් ‘ඩන්කන් වයිට්’ ශ්‍රවනාගාරය වෙන් කර තිබේ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ලංකාදීපයට පැවසුවේ දැල්පන්දු, සුළං ඔරු හා ජුඩෝ යන සම්මේලනවල නිලවරණ නතර කළ තැන් සිට නැවත ආරම්භ කර ඒවා පවත්වා අවසන් කරන බවයි. කෙසේ  වුවත් ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදුන් සහන කාලය තුළදී ද සිය නිලවරණ කැඳවීම සඳහා වන මූලික කටයුතු ආරම්භ කිරීමට ද සුමෝ හා ජුජිට්සු යන සම්මේලන අපොහොසත් වී ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය ජුනි 30 වැනිදා දක්වා ලබාදුන් සහන කාලය තුළදී ද නිලවරණ යොදවා අවසන් කිරීමට අපොහොසත් වූ ජාතික ක්‍රීඩා සංගම් පහක නිලවරණ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෘජු මැදිහත්වීම යටතේ පැවැත්වීමට කටයුතු කෙරේ. මෙම ජාතික ක්‍රීඩා සංගම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදන 5 ක් නොබෝදා නිකුත් කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.
 
නිලවරණයකින් පත්වන ජාතික ක්‍රීඩා සංගමයක විධායක සභාව සම්මත  නිල පාලන කාලයෙන් පසුව අක්‍රියවන බැවින්ද, එයින් පසුව ක්‍රීඩා පනතට අනුව නිලවරණයක් කැඳවා නව විධායක සභාවක් පත්කර ගැනීම අනිවාර්ය කටයුත්තක් වන බැවින් ද, එය ඉටු නොවන අවස්ථාවල දී ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත්වීම් කරන්නට ක්‍රීඩා පනතකට ලබා දී ඇතැයිද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ වනවිට ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් ගණන 70කි. ඉන් 50කට වැඩි ගණනක නිලවරණ මෙම වසරේ මැයි  31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුව තිබුණි. පරිපාලන ආරවුල් හමුවී දිගින් දිගටම නිලවරණ කල් ගිය ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක නිලවරණ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයේ පවත්වා අවසන් කිරීමට ඔහු නොබෝදා සමත් විය.

එහෙත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයේ පැවැති ශ්‍රී ලංකා පාපදි සම්මේලනයේ නිලවරණ අභියෝගයට ලක් කරමින් එහි හිටපු විධායක සභාව මේ වනවිට අන්තර් ජාතික පාපැදි සම්මේලනයට පැමිණිලි කර තිබේ.   ඒ අතර ඔහුගේ භාරයේ පැවැති ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නව විධායක සභාවට එරෙහිව හිටපු සභාපතිවරයෙකු අධිකරණයේ වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයේ පැවැත්වීමට නියම කළ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ හා ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණ අවසන් මොහොතේදී අත්හිටුවීමට සිදුව ඇත්තේ ඊට එරෙහිව මේ වනවිට අධිකරණයේ වාරණ නියෝග පැනවී තිබෙන පසුබිමකය.  ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය මැයි 30 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටිය දී අත්හිටුවීමට සිදු වූ ප්‍රධානතම කරුණ වූයේ රට තුළ පසුගිය කාලයේ බලපැවැත්වුණු සංවරණ සීමා බලපෑම්ය.

ඒ වනවිට එහි නාමයෝජනා විරෝධතා විභාග කරමින් පැවතුණි.  

 


අදහස් (0)

නිලවරණ කමිටු පත්කරගැනීමට ජාතික සංගම් 5 ක මහ සභා රැස්වීම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.