Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝෂප් වාස් - නාවික හමුදාව ගැලැක්සි කුසලාන දිනති

ජෝෂප් වාස් - නාවික හමුදාව ගැලැක්සි කුසලාන දිනති

editorial - 2021 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

------------------
නාමල් පතිරගේ
------------------

එකම පුහුණුකරුවකු විසින් මෙහෙයවන ලද කණ්ඩායම් දෙකක් වන වෙන්නප්පුව ජෝශප් වාස් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය ගැලැක්සි කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා දිනාගැනීමට සමත්වූහ. වයස 25න් පහළ තරගාවලියක් වූ මෙම තරගාවලියේ අවසන් මහ තරග මහරගම තරුණ සේවා ගෘහස්ත පිටියේදී  නිමාවට පත්විය.

තමන් පුහුණු කළ කණ්ඩායම් දෙකටම මෙම වර්තාගත  ජයග්‍රහණ අත්කර දීමට මුල්වූ පුහුණුකරු වූයේ ජාතික (පිරිමි) වොලිබෝල් සංචිතයේ සහය පුහුණුකරුවකු වන ඉන්දික  ප්‍රනාන්දු මහතායි.  පළමුවරට හඳුන්වා දුන් මෙම වොලිබෝල් තරගාවලියේදී මෙතෙක් දේශීය වොලිබෝල් තරගාවලියක වැඩිම ත්‍යාග මුදල ප්‍රදානය වීමද කැපී පෙනුණි.

ඒ අනුව ජයග්‍රාහී ජෝශප් වාස් (පිරිමි) හා නාවික හමුදා (කාන්තා) සහ ක්‍රීඩා සමාජ දෙකට රුපියල් මිලියනයක් බැගින් හිමිකර ගැනීමට ඉන්දික ප්‍රනාන්දු මහතාගේ වොලිබෝල් ගුරුහරුකම් හේතුවිය. විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ පිරිමි ශූරතාව දිනූ ජෝශප් වාස් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්  මේ වනවිට රැකියා විරහිතව පසුවන ක්‍රීඩකයන් වීමයි.

ඒ පිළිබඳව ඉන්දික ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් රැකියාවන් නොකරන අයයි. මේ නිසා අපේ කණ්ඩායමට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණ වෙන්කර ගැනීමට විශාල වියදමක් දරන්න වෙනවා. ඒත් අපේ ක්‍රීඩකයන් වැඩි දෙනකුට ඒක දරාගන්න බෑ. අපේ ක්‍රීඩකයන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන්න ළඟදිත් අපි ඇමැතිවරයකු මුණගැසුණා.”

පිරිමි අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට පමණක් නොව දක්ෂතම පන්දු පිරිනමන්නා ලෙසත්  ද්විත්ව සම්මාන ලද චමත් ඩිල්ෂාන් තවමත් වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ සිසුවෙකි.

‘ගැලක්සි’ කුසලාන දිනාගත් ජෝශප් වාස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් බහුතරයක් අවසන් වරට පැවැති මංචි කුසලාන ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීග් අනුශූරතාව (2020) හිමිකර ගත් මාස් කැෂුවලයින් කණ්ඩායමේද ක්‍රීඩා කර තිබේ.  එම තරගාවලියේදී ද සුපර් ලීග් කාන්තා හා පිරිමි අනුශූරතා දෙකම හිමි කරගෙන ඇත්තේ පුහුණුකරු ඉන්දික ප්‍රනාන්දු මහතා මෙහෙයවූ කණ්ඩායම් දෙකක් වීම කැපී පෙනේ.

නාවික හමුදා කණ්ඩායම එවර ජාතික ශූරතා සුපර්ලීග් කාන්තා අනුශූරතාව හිමිකරගත් කණ්ඩායමයි.

ගැලැක්සි කුසලාන පිරිමි අවසන් මහ තරගයේ තියුණු තරගකාරිත්වය මැනවින් කැපී පෙනුණේ වට පහක් දක්වා ඇදුණු අවසන් මහ තරගයේ මුළු ලකුණු එකතුවේ වෙනස ලකුණු හතරකට පමණක් (109-105) සීමා විණි. කාන්තා අවසන් මහ තරගයද වඩාත් තියුණු මුහුණුවරක් ගැනීම තුළ වට හතරක් දක්වා තරගය ඇදී ගියේය.  

චීන සමාගමක් වන බෝපෑන්ග් ලංකා ඉන්වෙස්මන්ට් හෝල්ඩින්ග්ස් සමාගම මෙම තරගාවලියේ අනුග්‍රහයට ඉදිරිපත් වෙමින් අනුශූරතා හා තෙවැනි ස්ථාන ලද කණ්ඩායම් හතරටද රුපියල් ලක්ෂ තුනක් හා දෙකක් බැගින් ප්‍රදානය කළේය.

ගැලැක්සි කුසලාන කාන්තා හා පිරිමි වොලිබෝල් ශූරතා දිනූ කණ්ඩායම් දෙකම අපරාජිතව තරගාවලිය ජය ගැනීමට සමත් වීමද කැපී පෙනුණි.


කාන්තා අවසන් මහ තරගය
නාවික හමුදා කණ්ඩායම විසින් වට 3/1 කින් ‘හයිඩ්‍රාමනී’ ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදි (22/ 25 –25/ 19–25/ 10-25/ 23)
විශේෂ සම්මාන –
දක්ෂතම පන්දු පිරිනමන්නිය හා දක්ෂතම ක්‍රීඩිකාව කවිෂා ලක්ෂානි පෙරේරා (නාවික හමුදාව),
දක්ෂතම පන්දු ලබා ගන්නීය – සුපී ප්‍රබෝධා (නාවික හමුදාව)
දක්ෂතම පන්දු ඔසවන්නිය – දිල්කි චාරුකා රණවීර (නාවික හමුදාව)
දක්ෂතම ප්‍රහාරිකාව – දිලුක්ෂි හර්ෂණී සේනාරත්න (හයිද්‍රාමනි),
දක්ෂතම පන්දු වළක්වන්නිය – ෂකිරාලක්මානි (නාවික හමුදාව)
දක්ෂතම පන්දු රකින්නිය – සුනේත්‍රා ප්‍රියදර්ශනී විජේසිංහ (හයිද්‍රාමනි)
තෙවැනි ස්ථානය – මහඋස්වැව ක්‍රීඩා සමාජය (පිරිමි)


පිරිමි අවසන් මහ තරගය
වෙන්නප්පුව ජෝශප් වාස් ක්‍රීඩා සමාජය විසින් වට 3/2 කින් විදුලි බල මණ්ඩල පිල පරාජය කරන ලදි. (20/25 – 25/22 – 25/19 – 23/25 – 16/14)
විශේෂ සම්මාන
දක්ෂතම පන්දු පිරිනමන්නා හා දක්ෂතම ක්‍රීඩකයා - ඩබ්.බී. බවත් ඩිල්ෂාන් (ජෝශප් වාස්) දක්ෂතම පන්දු ලබා ගන්නා - ටිරාන් සන්තූෂ (ජෝශප් වාස්)
දක්ෂතම පන්දු ඔසවන්නා - මලීෂා අවිෂාන් (ජෝශප්වාස්),
දක්ෂතම ප්‍රහාරකයා - ලක්ෂිත බණ්ඩාර (විදුලිබල මණ්ඩලය)
දක්ෂතම පන්දු ආවරණය කරන්නා - අංජන් මලින්ත (ජෝශප් වාස්)
දක්ෂතම පන්දු රකින්නා - දුලාර චන්ද්‍රසිරි (විදුලි බල මණ්ඩල)
තෙවැනි ස්ථානය – යුද හමුදා කණ්ඩායම.


අදහස් (0)

ජෝෂප් වාස් - නාවික හමුදාව ගැලැක්සි කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.