එළඹෙන “සාග්” ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ආරම්භ කෙරෙන ජාතික පාපැදි (පිරිමි) සංචිතය නව මුහුණුවරකින් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සැරසේ. ලබන මැයි මාසය දක්වා පවත්වාගෙන යන එහි පළමු අදියර දිවයිනේ ප්‍රධානතම පාපැදි ක්‍රීඩා සමාජ හයේ ක්‍රීඩකයන් 60කගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරේ.
ගුවන් හමුදා, යුද හමුදා, නාවික හමුදා, පොලිස්, වරාය හා දෙහිවල-ගල්කිස්ස යන පාපැදි ක්‍රීඩා සමාජ හයෙන් ඒ සඳහා ක්‍රීඩකයන් 10 දෙනකු බැගින් නිර්දේශ කිරීමට නියමිතය.
එහිදී ක්‍රීඩකයන් සංචිතයකට කැඳවීමක් නොකරන අතර පුහුණුවීම් ඔවුන්ගේ ක්‍රීඩා සමාජ අධීක්ෂණයෙන් වෙන වෙනම සිදු කෙරේ. ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක මහතා ප්‍රධාන පාපැදි පුහුණුකරුවන් පිරිසක් පළමු අදියරේ එම පුහුණුවීම් කටයුතු මෙහෙයවයි.
කෙසේ වුවත් ජාතික පාපැදි සංචිතයේ පළමු අදියරට සම්බන්ධ නොවන අනෙකුත් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන්ට එහිදී සාධාරණයක් කිරීම සඳහා තේරීම් තරග කැඳවන අවස්ථාවන්හිදී ක්‍රීඩකයන් තිදෙනකු බැගින් නිර්දේශ කිරීමේ අවස්ථාව සලසාදීමට එහිදී තීරණය වී තිබේ.
“සාග්” පාපැදි සංචිතයේ දෙවැනි අදියර කැඳවීමේදී ක්‍රීඩකයන් 20 දෙනකු පමණ තෝරා ගන්නා අතර එහිදී සාග් ක්‍රීඩා උළෙලට තරගකරුවන් 12 දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් නිර්දේශ කෙරෙනු ඇත.
මේ අතර සාග් කාන්තා පාපැදි පුහුණු සංචිතය කැඳවීමේදී ඒ සඳහා ශ්‍රේණිගත කිරීම් අනුව හොඳම ක්‍රීඩිකාවන් 15 දෙනකු නිර්දේශ කෙරේ.
ඒ අනුව ජාතික පාපැදි පුහුණු සැලැස්මේ සමාරම්භක අවස්ථාව මෙම 21 වැනිදා පෙරවරු 8ට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඒ යටතේ එදින සහ මෙම 22 වැනිදාත් පාපැදි ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් සඳහා වැඩමුළුවක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ටොරින්ටන් ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වේ. පාපැදි සම්මේලනයේ පුහුණු හා සංවර්ධන කමිටුවේ සභාපති කොමදෝරු චන්දන රත්නායක මහතා එම වැඩමුළුව මෙහෙයවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.