Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගේල්ගේ පිත්ත නිහඬයි

ගේල්ගේ පිත්ත නිහඬයි

editorial - 2021 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ක්‍රිකට් පිටියේ වඩාත්ම ප්‍රවේගකාරී පිතිකරුවා ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් මෙම වසර (2021) තුළ පැවැති ජාත්‍යන්තර තරගවලදී දිගින් දිගටම අසාර්ථක වී ඇත. මෙම වසර තුළදී විස්සයි20 ජාත්‍යන්තර තරග 9 කට ක්‍රීඩා කර ඇති ඔහුට එහිදී රැස්කරගත හැකි වී ඇත්තේ ලකුණු 102 ක් පමණි. මෙම කාලයේදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 12.75 ක් ලෙස සටහන් වේ.

විශේෂත්වය වන්නේ එම තරග සියල්ල කොදෙව් දූපත්හිදී පැවැති තරග වීමය. එහෙත් ක්‍රිස් ගේල් වැනි ලෝක මට්ටමේ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වීම යනු විශාල සාර්ථකත්වයක පෙරනිමිත්තක්ද වෙයි.

එංගලන්තයට එරෙහිව 2019 වසරේ මාර්තු මාසයේදී පැවැති විස්සයි20 තරගාවලියේදී කොදෙව් පිල නියෝජනය කළ ගේල්ට ඉන් අනතුරුව වසරක කාලයක් කොදෙව් පිලේ දොරටු විවෘත නොවීය. මෙම වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී යළිත් කොදෙව් පිලට එක්වීමට ඔහුට අවස්ථාව හිමි වූයේ මේ වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු තරගයේදී ලකුණු නොළබා දැවී ගිය ගේල්, දෙවැනි සහ තෙවැනි තරගවලදී පිළිවෙලින් රැස්ක‍ළේ ලකුණු 16 ක් සහ 13 ක් පමණි.

ඉන් අනතුරුව ජූනි සහ ජූලි මාසවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත වූ විස්සයි20 තරගාවලියේ තරග 4 කට ක්‍රීඩා කළ ගේල්, එහිදී රැස්කළ ඉහළම සංඛ්‍යාව 32 කි. සෙසු තරග 3 දී ඔහු පිළිවෙලින් ලකුණු 8 ක්, 5 ක් සහ 11 ක් ලබා සිටියදී දැවී ගියේය. මේ දිනවලදී පැවැත්වෙන තරග 5 කින් සමන්විත ඕස්ට්‍රේලියා - කොදෙව් තරගාවලියේ තරග 2 ක් මේ වන විට නිමාවට පත්ව ඇති අතර එහිදී ගේල් ලකුණු 4 කට සහ 13 කට දැවී ගොස් ඇත.

වසර 15 ක් පුරා (2006 සිට 2021) විස්සයි-20 අන්තර්ජාතික තරග වලට ක්‍රීඩා කරන ක්‍රිස් ගේල් කොදෙව් පිල වෙනුවෙන් වැඩිම වි-20 අන්තර්ජාතික ලකුණු ලබාගත් ක්‍රීඩකයාද වෙයි.

මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර තරග 67 කදී කොදෙව් පිල නියෝජනය කර ඇති ගේල්, එහිදී ලකුණු 29.81 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 1729 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ශතක 2 ක් සහ අර්ධ ශතක 13 ක් සමගිනි. එහිදී හ‍යේ පහර 110 ක් සහ හතරේ පහර 147 ක් එල්ල කිරීමට ඔහු සමත්ව ඇත්තේ 138.43 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි.

සියලුම ආකාරයේ විස්සයි-20 තරග 430 කදී ලකුණු 13,971 ක් ලබා සිටින ගේල් ඒවායේදී ශතක 22 ක් ද ලබා සිටී. ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාව රෝයල් චැලෙන්ජර්ස් පිල වෙනුවෙන් අයි.පී,එල්. තරගයකදී පන්දු 66 කදී ලබාගත් ලකුණු 175 කි. සියලුම ආකාරයේ විස්සයි-20 තරග වලදී ලෝකයේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ද ගේල්ය.

 

ගෙවීගිය මාස 7කදී ගේල්ගේ විස්සයි-20 පිතිහරඹය
ශ්‍රී ලංකාවට එරෙහිව  - 0, 16 සහ 13
දකුණු අප්‍රිකාවට එරෙහිව - 32, 8, 5 සහ 11
ඕස්ට්‍රේලියාවට එරෙහිව - 4 සහ 13
 
-036


අදහස් (0)

ගේල්ගේ පිත්ත නිහඬයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.