Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොලො‍ම්බියාව තෙවැනි තැනට

කොලො‍ම්බියාව තෙවැනි තැනට

editorial - 2021 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වූ කණ්ඩායම් දෙක අතර අද (10 වැනිදා) පැවැති තරගයේදී ගෝල 3-2 ක් ලෙස පේරු රාජ්‍යය පරාජය කළ ‍කොලොම්බියාව, මෙවර දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. අතිරේක කාලයේදී (94 වැනි විනාඩියේදී) කොලොම්බියාව වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කළ ලුවිස් ඩයස් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමු අර්ධයේ අවසන් විනාඩියේදී (45 වැනි විනාඩියේදී) ගෝලයක් ලබාගත් යොෂිමා යොටින් එම අර්ධය නිමාවන විට‍ ගෝල 1-0 ක් ලෙස පේරු රාජ්‍යය තර‍ගයේ පෙරමුණට ගෙන ආවේය. එහෙත් දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 4 ක් ගතවන විට (49 වැනි විනාඩියේදී) කොලො‍ම්බියාව වෙනුවෙන් ගෝලයක් ලබාගත් ජුවාන් කුවඩ්‍රාඩෝ ගෝල 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළේය.

ඉන් අනතරුව 66 වැනි විනාඩයේදී කොලො‍ම්බියාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළ ලුවිස් ඩයස් ගෝල 2-1 ක් ලෙස පළමු වරට සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවේය. කෙසේ වුවත් තරගය නිමාවීමට ‍විනාඩි 8 ක් තිබියදී (82 වැනි විනාඩියේදී) පේරු රාජ්‍යය වෙනුවෙන් ගෝලයක් ලබාගත් ගියානුස් ලාපඩුලා ‍ගෝල 2-2 ක් ලෙස යළිත් වරක් තරගය සම තත්ත්වයට ඇද දැමුවේය.

මෙම තරගයේදී කොලොම්බියානු ක්‍රීඩකයන් අතින් නිති විරෝධී ක්‍රියා 18 ක්ද, පේරු ක්‍රීඩකයන් අතින් නිති විරෝධී ක්‍රියා 8 ක්ද සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොලොම්බියාව කහ පැහැති කාඩ් පත් 3 ක්ද, පේරු රාජ්‍යය කහ පැහැති කාඩ්පත් 2 ක් ලැබූහ. තරගය පුරා කොලොම්බියානු ක්‍රීඩකයෝ පහර 6 ක්ද, පේරු ක්‍රීඩකයෝ පහර 3 ක්ද දැල ඉලක්ක කරගනිමින් එල්ල කළහ.

මූලික වටයේදී තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජය වී, සෙසු තරගය ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගෙන ‘බී’ කාණ්ඩයේ තෙවැනියා ලෙස කොලොම්බියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ගෝල 0-0 ක් ලෙස සම වීමෙන් අනතුරුව දඬුවම් පහර 4-2 ක් ලෙස උරුගුවේ පරාජය කරමින් කොලොම්බියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

පේරු රාජ්‍යය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ මූලික වටයේදී තරග 2 ක් ජයගෙන, තරගයක් පරාජය වී, සෙසු තරගය ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගෙන ‘බී’ කාණ්ඩයේ දෙවැනියා ලෙසිනි. අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ගෝල 3-3 ක් ලෙස සම වීමෙන් අනතුරුව දඬුවම් පහර 4-3 ක් ලෙස පැරගුවේ පරාජයට කරමින් පේරු රාජ්‍යය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.  

-036


අදහස් (0)

කොලො‍ම්බියාව තෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.