මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පැවැත්වෙන 112 වැනි ‘කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය’ මහ ක්‍රිකට් තරගය හෙට - අනිද්දා (16 - 17) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දිවයිනේ දෙවැනි පැරණිතම මෙන්ම මධ්‍යම පළාතේ පැරණිතම මහ ක්‍රිකට් තරගය ලෙස සැලෙකෙන ‘කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය’ 1893 වසරේදී ආරම්භ විය. මෙතෙක් පැවති තරගවලදී ජයග්‍රහණ 33 ක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහලත්, ජයග්‍රහණ 19 ක් අත්කර ගැනීමට කිංග්ස්වුඞ් විදුහලත් සමත්ව සිටියි.
කෙසේ වුවත් 1981 වසරේදී ජනක මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ මහ ක්‍රිකට් තරගය ජය ගැනීමෙන් අනතුරුව වසර 30 ක් ගතවන තෙක්ම ජයග්‍රහණයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහලට නොහැකි විය. වසර 30 ක් පුරා ජයග්‍රහණයක පිපාසයෙන් පෙලුණු ධර්මරාජ විදුහල යළිත් ජයග්‍රාහී මාවතට යෙමු වූයේ 2011 වසරේදී හේමාල් මුණවීරගේ නායකත්වය යටතේය. එතැන් පටන් පිට පිට තෙවරක්ම කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයෙන් ජය ලැබීමට ධර්මරාජ විදුහල සමත් විය.
කිංග්ස්වුඞ් විදුහල අවසන් වරට මහ ක්‍රිකට් තරගයක් ජය ගෙන ඇත්තේ 1957 වසරේදී මොරිස් ප්‍රනාන්දුගේ නායකත්වය යටතේය. ඉන් අනතුරුව මේ දක්වා (වසර 60 ක් පුරා) මහ ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය අත්විදීමට කිංග්ස්වුඞ් විදුහලට අවස්ථාවක් ලැබී නැත.
මෙවර මහ ක්‍රිකට් තරගයේදී ධර්මරාජ විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බවන්ත උඩන්ගමුවටත්, අතර කිංග්ස්වුඞ් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගනිඳු කඹුරුගමුවටත් හිමි වී ඇත.
අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් තරග වදින ධර්මරාජ විදුහලට මෙවර තරග වාරයේදී ජයගත හැකි වූයේ එක් තරගයක් පමණි. සහභාගි වූ සෙසු තරගවලදී පූර්ණ පරාජයන් 3 කට සහ පළමු ඉනිමේ පරාජයන් 3 කට හිමිකම් කීමට ධර්මරාජ විදුහලට සිදුවිය.
මෙවර තරග වාරයේදී දෙවැනි කාණ්ඩයෙන් තරග වදින කිංග්ස්වුඞ් විදුහල, එහිදී පූර්ණ ජයග්‍රහණ සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2 බැගින් ලබා සිටින අතර පූර්ණ පරාජයකට සහ පළමු ඉනිමේ පරාජයකටද හිමිකම් කියයි.
ධර්මරාජ විදුහල් කණ්ඩයම -
බවන්ත උඩන්ගමුව (නායක), රුක්මාල් දිසානායක (උපනායක), චේතිය ඒකනායක, නවිදු දිල්ශාන්, දුලාජ් බණ්ඩාර, ලක්ෂිත පන්නල, උපේන්ද්‍ර වර්ණකුලසූරිය, විරාජිත් ඇහැළේපොළ, ධනුක රත්නායක, යෂිත සාමරත්න, දිනුක පතිරාජ, කලණ වික්‍රමරත්න, චේතිය වීරකෝන් සහ යූ. එස්. සී. පෙරේරා මහතා (පුහුණුකරු)
කිංග්ස්වුඞ් විදුහල් කණ්ඩයම -
ගනිඳු කඹුරුගමුව (නායක), සෞම්‍ය පියසේන (උපනායක), දුලින් විජේනාරායන, කුෂාන් ගාෂිත, දීඝායු බණ්ඩාර, ධනංජය මදුරංග, හර්ෂණ වික්‍රමසිංහ, උත්පල ජයලත්, රුසිත් දිල්ශාන්, දුමිඳු දමිෂ්ක, හෂික ගමගේ, මාධව ධනංජය, චානක බණ්ඩාර, කසුන් මාධව, දේවින්ද දිසානායක, දුලිත වික්‍රමසිංහ සහ ඉන්දික බණ්ඩාර මහතා (පුහුණුකරු)
|
ධර්මරාජ විදුහල් කණ්ඩායම |
|
කිංග්ස්වුඞ් විදුහල් කණ්ඩයම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.