Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කනක හේරත් මේසපන්දු මුල් පුටුවට

කනක හේරත් මේසපන්දු මුල් පුටුවට

editorial - 2021 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපතිවරයා‍ ලෙස පිට පිටම දෙවැනි වරටත් නිතරගයෙන් පත්වීමට වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සමත් විය. මෙවර ඔහු එම ධූරයට පත්වූයේ 2021-2023 කාල වකවානුව සඳහාය.

ඔහු 2019-2021 කාල වකවානුව තුළද ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපතිවරයා‍ ලෙස කටයුතු කළේය. බණ්ඩාරගම ගෘහස්ත ක්‍රීඩාංගණය මේසපන්දු ක්‍රීඩාව සඳහා බදු ගැනීම, පවතින මේසපන්දු සංගමයේ ව්‍යවස්ථාව ‍සංශෝධනය කිරීම සහ 2022 වසරේ ශ්‍රී ලංකාවේදී දකුණු ආසියානු මේසපන්දු තරගාවලියක් පැවැත්වීම කෙරෙහි තමා ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන බව සභාපති ධූරයට පත්වීමෙන් පසුව හේරත් මහතා පැවසීය.

පිටිසර පාසල් සඳහා මේසපන්දු ක්‍රීඩාව හඳුන්වාදීමට, දීර්ඝ කාලීන සහ කෙටි කාලීන සැලසුම් සකස් කිරීමට, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ට ජාතික පුහුණු සංචිත පිහිටුවීමට, ක්‍රීඩක සුබසාධන වැඩසටහනක් ආරම්භ කිරීමට මෙන්ම පුහුණුකරුවන් සහ විනිසුරුවන් සඳහා උසස් තත්වයේ පුහුණු පාඨමාලා පැවැත්වීමටද තමා ඇතුළු නිලධාරී මණ්ඩලට ඉදිරියේදී කටයුතු කරන බව හේරත් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

විශ්‍රාමලත් නියෝජ්‍ය නාගරික කොමසාරිස් ජී.ජී. වීරක්කොඩි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක අධීක්ෂණය යටතේ සූම් තාක්ෂණය ඔස්සේ මෙම නිලවරණය පැවැත්විණ. විශ්‍රාමලත් ගුවන් කොමදෝරු චන්දන ලියනගේ සහ විශ්‍රාමලත් ක්‍රීඩා අධ්‍යකෂ පාලිත ජයතිලක යන මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

නිලවරණය සඳහා ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට අනුබද්ධ සංගම් සහ ක්‍රීඩා සමාජ 30 න් 24 ක් සහභාගි වූ අතර ඉන් 20 ක් විධායක කමිටුව සඳහා සුදුසුකම් ලැබීය. එහෙත් මෙවර නිලවරණය සඳහා එක් පාර්ශවයක් පමණක් නාම යෝජනා ඉදිරිපත් කර තිබීම හේතුවෙන් කිසිදු තනතුරක් සඳහා ඡන්දයක් නොපැවැත්වුණ අතර සියලුම නිලධාරීහූ නිතරගයෙන් පත්වූහ.

උප සභාපති ධූර 8 සඳහා නාම යෝජනා 9 ක් ඉදිරිපත්ව තිබූ නමුත් නුගේගොඩ මේසපන්දු සංගමය නියෝජනය කරමින් මාලිකා මධුෂානි මෙනවිය ඉදිරිපත් කර තිබූ නාම යෝජනාව අවසන් මොහොතේදී ඇය විසින් ඉල්ලා අස් කරගන්නා ලදි. ඒ හේතුවෙන් උප සභාපති ධූර 8 සඳහාද ඡන්දයක් නොපැවැත්විණ. 

සදිසි නිරාෂා, නාමල් ගුණසේකර, ලලිත් ලියනගේ, ලසන්ත සංජීව, ඕෂදී ගුණසේකර, බුද්ධික නියරපොල සහ සමීර විජේගුණරත්න යන මහත්ම මහත්මීහූ එහිදී උප සභාපතිවරු ලෙස පත්වූහ.

උප සභාපති ධූරයක් සඳහා පාසල් මේසපන්දු සංගමය නියෝජනය කරමින් එච්.එම්.ජී. හේරත් මහතා යොමුකර තිබූ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවරගත් අතර ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර තිබුණේ හේරත් මහතා මේසපන්දු ක්‍රී‍ඩාවේ නිරත වී නොතිබීමය. ඒ අනුව ඔහුගේ හිදැස පිරවීම සඳහා ජාතික සංගමයේ පළමු විධායක කමිටු රැස්වීමේදී පාසල් මේසපන්දු සංගමය නියෝජනය කරමින් නව උප සභාපතිවර‍යකු පත්වීමට නියමිතය. 

1997 වසරේ සිට 2005 වසර දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ රීසා ලතීෆ් මහතා, මේසපන්දු සංගමයේ නව ලේකම්වරයා ලෙස පත් විය. ප්‍රභාත් නිමේෂ්, සමන් ශ්‍රී රත්නායක සහ එරන් සම්පත් යන මහත්වරු පිළිවෙලින් සංගමයේ උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සදහා පත්වීම් ලැබූහ.


මේසපන්දු සංගමයේ නව නිලධාරී මණ්ඩලය

සභාපති - කනක හේරත් මහතා (කෑගලු දිස්ත්‍රික් මේසපන්දු සංගමය)
උප සභාපතිවරු - සදිසි නිරාෂා (ත්‍රී ස්ටාස් මේසපන්දු සංගමය), නාමල් ගුණසේකර (කාන්තා ක්‍රියාකාරි කමිටුව), ලලිත් ලියනගේ (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය), ලසන්ත සංජීව (නුවරඑළිය දිස්ත්‍රික් මේසපන්දු සංගමය), ඕෂදී ගුණසේකර (ටිබාර් මේසපන්දු සංගමය), බුද්ධික නියරපොල (රාජ්‍ය සේවා මේසපන්දු සංගමය) සහ සමීර විජේගුණරත්න (කැලණිය විශ්ව විද්‍යාලය) යන මහත්ම මහත්මීහු
ලේකම් - රීසා ලතීෆ් මහතා (බස්නාහිර පළාත් මේසපන්දු සංගමය)
උප ලේකම් - ප්‍රභාත් නිමේෂ් මහතා (ප්ලේග්‍රවුන්ඩ් මේසපන්දු ලීගය)
භාණ්ඩාගාරික - සමන් ශ්‍රී රත්නායක මහතා (ෆියුචර් ස්පින් මේසපන්දු විද්‍යායතනය)
උප භාණ්ඩාගාරික - එරන් සම්පත් මහතා (සබරගමු පළාත් මේසපන්දු සංගමය)


අදහස් (0)

කනක හේරත් මේසපන්දු මුල් පුටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.