Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් කණ්ඩායමට කෝටි හතර හමාරක්

ඔලිම්පික් කණ්ඩායමට කෝටි හතර හමාරක්

editorial - 2021 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගිත්වය වෙනුවෙන් රුපියල් මිලියන 46.2ක් හෙවත් කෝටි 4 1/2කට වැඩි වියදමක් දරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.  මෙය ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකාවේ සහභාගිත්වය වෙනුවෙන් මෙතෙක් කළ වැඩිම  වියදම වන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

මෙම අරමුදල් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහේල ජයවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ මත අනුමතවී තිබේ.  මෙම 23 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් සඳහා මෙම වියදම යෙදවේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සෘජුවම නිර්දේශ ලැබූ  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇමෙරිකානු  ඩොලර් 15,000ක් බැගින් හා ප්‍රසාද ලකුණු මත හා කෝටා ක්‍රමයෙන් නිර්දේශ ලැබූ  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඩොලර් 10‍,000 ක් බැගින්ද පිරිනැමේ. ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන්ට ඩොලර් 5000ක් බැගින් වන දීමනාවක්ද ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ලබාදී තිබේ. ඒ ටෝකියෝ නුවර ගත කරන සෑම දිනයක් සඳහාම ඩොලර් 40ක් බැගින් ගෙවීමට අමතරවය.

ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි ජපානයට ළඟාවන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමට නවාතැන් ගැනීම සඳහා ටෝකියෝ නුවර තරුපහේ හෝටලයක එක් මහලක් සම්පූර්ණයෙන් වෙන්කර තිබේ. ඒ සිනමන් ලයිෆ් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය යටතේය.
ක්‍රීඩා අමාත්‍යාංශය ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සූදානම් කළ සුපිරි පහසුකම් අතර මෙරටින් පිටත්ව යාමට පෙර එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ට සතියක කාලයක් නිරෝධායනයවීම සඳහා කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ පහසුකම් සලසා තිබේ.

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම සඳහා මුදල් පෙරේදා (15) ක්‍රීඩා අමාත්‍යාංශයේදී අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදානය කරන ලදි.

- 223


අදහස් (0)

ඔලිම්පික් කණ්ඩායමට කෝටි හතර හමාරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.