
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ කුසලාන වටය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර ඊයේ (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 26-16 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් විය.
මෙවර තරගාවලියේදී සී.ආර්. කණ්ඩායම ලැබූ 8 වැනි ජය මෙය වූ අතර සී.එච්. කණ්ඩායමට එරෙහිව ලැබූ පළමු ජයද මෙය විය. මෙන් පෙර මෙම කණ්ඩායම් දෙක අතර මූලික වටය යටතේ පැවැති තරගයේදී සී.එච්. කණ්ඩායම හමුවේ සී.ආර්. කණ්ඩායම ලකුණු 34-32 ක තියුණු පරාජයක් ලැබීය.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 14-08 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී සී.ආර්. කණ්ඩායම ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර සී.එච්. කණ්ඩායම ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 12 ක් රැස්කිරීමට සමත් වූ සී.ආර්. ක්‍රීඩකයෝ, සිය මුලු ලකුණු සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළ දමාගත්හ. එහිදී සී.එච්. කණ්ඩායමට උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ තවත් ලකුණු 8 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 26-16 ක ජයක් ලැබීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙම තරගයේදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් චෙමොද් මුතුනායක, මුර්ෂීඩ් දොරේ සහ චතුර සෙනෙවිරත්න උත්සාහක දිනුම් ලබාගත් අතර ඔවුන්ට දඬුවම් උත්සාහක දිනුමක්ද හිමිවිය.
එම උත්සාහක දිනුම්වලින් දෙකක ප්රවර්ථන සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර සමත් විය. සී.එච්. කණ්ඩායම වෙනුවෙන් පුලස්ති දසනායක සහ විදෙස් ක්‍රීඩක මැතිව් සෙටලී උත්සාහක දිනුම් ලබාගත් අතර ජනිත් චන්දිමාල් දඬුවම් පහර 2 ක් සාර්ථක කරගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.