කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ට සමගාමීව අද (18 වැනිදා) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති 44 වැනි සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 245 ඉලක්කයක් හඹාගිය නාලන්දා විදුහල් ක්‍රීඩකයෝ ඕවර 44 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 48 ක් රැස්කළ චමිඳු විජේසිංහ සිය කණඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. සුහඟ විජේවර්ධන (68) අර්ධ ශතකයක් ලබාගනිමින් නාලන්දා විදුහලේ ජයග්‍රහණය සඳහා මනා අඩි තාලමක් දැමීය.
කාසියේ වාසිය දිනූ නාලන්දා විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද විදුහල නියමිත ඕවර 49.1 තුළදී සියලු දෙනා දැවී ලකුණු 244 ක් ලබාගත්තේය. ආනන්ද විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත් වූ අසේල් සිගේරා ලකුණු 87 ක් ලබාගත් අතර ළහිරු හිරණ්‍ය ලකුණු 38 ක්ද, දුෂාන් හෙට්ටිගේ ලකුණු 33 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.
නාලන්දා වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලක්ෂිත රසාංජන ලකුණු 48 කට කඩුලු 3 ක් දවාගත් අතර ආනන්ද පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා රසාංජනට අනගි සහායක් දුන් චමිඳු විජේසිංහ සහ කවීෂ මදුරප්පෙරුම කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
ආනන්ද විදුහල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 244
(අසේල් සිගේරා 87, ළහිරු හිරණ්‍ය 38, දුෂාන් හෙට්ටිගේ 33, කවිඳු ගිම්හාන 31, ලක්ෂිත රසාංජන 48/3, චමිඳු විජේසිංහ 31/2, කවීෂ මදුරප්පෙරුම 40/2)
නාලන්දා විදුහල - ඕවර 44 කදී කඩුලු 5 ක් දැවී 247
(සුහඟ විජේවර්ධන 68, චමිඳු විජේසිංහ නොදැවී 48, දිල්හාර පොල්ගම්පල 37, රනිඳු ද සිල්වා 36, අවිෂ්ක පෙරේරා 21)
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.