ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සංවිධානය කිරීමේ පළමු පියවර ලෙස නිලවරණ කමිටුව පත්කිරීම සඳහා සංවිධානය කරන විශේෂ මහ සභා රැස්වීම ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අද (12) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම විශේෂ මහ සභාව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් බුවනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
විශේෂ මහ සභාවේ සංවිධාන කටයුතු පිළිබඳව කළ විමසුමේදී ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් බුවනක හේරත් මහතා පැවසුවේ මෙම විශේෂ මහ සභාව නිලවරණ කමිටුව පත්කිරීම සඳහා පමණක් සංවිධානය කරන බවත් එහි න්‍යායපත්‍රයට වෙනත් කිසිවක් ඇතුළත්ව නොමැති බවත්ය.
“මෙහි එකම අරමුණ නිලවරණ කමිටුව පත්කිරීමයි. ඒ පිළිබඳව අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් වන සියලුම ක්‍රීඩා සමාජ ලිඛිතව දැනුවත් කරලා තියෙනවා”
“මෙහිදී නිලවරණ කමිටුවට අපි සාමාජිකයන් නම් කරන්නේ නෑ. ඒ සඳහා නම් සාමාජික ක්‍රීඩා සමාජ යෝජනා කළ යුතුයි. කමිටුවට පත්වන්නේ සාමාජිකයන් තිදෙනෙක් පමණයි. නමුත් අපි නාමයෝජනා පහක් පමණ ලබාගන්න බලාපොරොත්තු වෙනවා”
නිලවරණ කමිටුවට සාමාජිකයන් තෝරාගැනීම සඳහා තිලංග සුමතිපාල පාර්ශ්වය බොරැල්ලේදී ඊයේ පස්වරුවේ රැස්වීමට නියමිතව සිටි බව එම පාර්ශවයේ ප්‍රබල සාමාජිකයකු ‘ලංකාදීප’යට පැවසීය.
‘රණතුංග’ පාර්ශවය නිලවරණ කමිටුවට සාමාජිකයන් යෝජනා කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුව දක්වාත් නිශ්චිත තීරණයකට පැමිණ නොසිටියේය. එම පාර්ශවයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙක් පැවසුවේ තමන් ඉදිරිපත් වන නිලවරණය මෙහෙයවීමට තමන්ම නිලධාරීන් යෝජනා කිරීමට සම්ප්‍රදායට පටහැනි බවයි.
“අපේ පාර්ශවයේ බොහෝ සාමාජිකයෝ නිලවරණ කමිටුවට සාමාජිකයන් යෝජනා කිරීමට කැමැත්තක් නෑ. කෙසේ වෙතත් අපි හෙට (12 වැනිදා) පෙරවරුවේ රැස්වෙලා අවසන් තීරණයක් ගන්නවා” යැයි එම නිලධාරියා ඊයේ දහවල් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘අ’ ශ්‍රේණියේ ක්‍රීඩා පාලක සංගමයක් වීම නිසා නිලවරණ කමිටුවට අනිවාර්යෙන්ම මහාධිකරණ හෝ අභියාචනාධිකරණ විශ්‍රාමලත් විනිශ්චකාරවරු දෙදෙනෙකු ඇතුළත් විය යුතුය. ‘අ’ ශ්‍රේණියේ ක්‍රීඩා සංගමයක් වීම සඳහා සාමාජික/ක්‍රීඩා සමාජ/අනුබද්ධ ආයතන 25 ක් හෝ ඊට වැඩි ගණනක් සහිත වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 50 ක් හෝ ඊට වැඩි ක්‍රීඩා පාලක සංගමයක් විය යුතුය.
එකම පාර්ශවයකින් හෝ නිලවරණ කමිටුවට සාමාජිකයන් යෝජනා නොකළහොත් නැවතත් විශේෂ මහා සභාවත් කැඳවීමට සිදුවන බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් බුවනක හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ලබන වසරේ පෙබරවාරි 9 වැනිදා දක්වා අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් කාලය ලබාගත් අතර කිසියම් හේතුවක් මත නිලවරණය ප්‍රමාද වුවහොත් ශ්‍රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්වය අවදානමට ලක්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණයේ ගොණුකර තිබෙන නඩුව මේ මස 29 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.