නාමල් පතිරගේ
මංචි කුසලාන ජාතික වොලිබෝල් ශූරතාවලියේ ‘බී‘ කාණ්ඩයේ (පිරිමි) අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටි පොතුපිටිය ලකි සික්ස් ක්‍රීඩා සමාජය තරගාවලියෙන් නෙරපීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක සභාව තීරණය කර තිබේ.
වාද්දුව පොතුපිටිය මහ විදුහල් පිටියේදී පැවැති ‘බී‘ කාණ්ඩයේ අවසන් වටයේදී වාර්තා වූ සිදුවීමක් මුල් කර ගනිමින් පොතුපිටිය ලකි සික්ස් පිල අවසන් මහ තරගයෙන් ඉවත් කර තිබේ.
අවසන් පූර්ව වටයේදී ලකී සික්ස් කණ්ඩායම විසින් හලාවත ෆාහීම් ජෙම්ස් කණ්ඩායම පරාජය කරමින් පෙබරවාරි 17 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට ලකී සික්ස් පිල සුදුසුකම් ලබා තිබුණි. කෙසේවූවත් අවසන් පූර්ව තරගයෙන් පසුව හලාවත ෆාහීම් ජෙම්ස් කණ්ඩායම විසින් ලකී සික්ස් කණ්ඩායමේ ජයග්‍රහණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ විරෝධතාව පිළිගැනීමත් සමග ලකී සික්ස් පිල තරගාවලියෙන් ඉවත් කරමින්, අවසන් මහ තරගයට සහභාගි වීමේ අවස්ථාව ෆාහිම් ජෙම්ස් කණ්ඩායමට ප්‍රදානය කර තිබේ.
පළාත් තරග වටයේදී කණ්ඩායමට ඇතුළත් නොවූ බව කියන ක්‍රීඩකයෙකු අවසන් වටයේ තරග සදහා ලකී සික්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ බවට ෆාහිම් ජෙම්ස් පිල ඉදිරිපත් කර තිබූ විරෝධතාව අනුව කියැවේ.
ඒ අනුව ‘බී‘ කාණ්ඩයේ (පිරිමි) අවසන් මහ තරගය පෙබරවාරී 17 වැනිදා ෆාහිම් ජෙම්ස් ක්‍රීඩා සමාජය සහ රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය අතර පැවැත්වේ. ඒ සමගම පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය තේරීමේදී තල්පේ දිලෙන තරු කණ්ඩායමට නිතරඟ ජයක් හිමිව තිබේ.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම්' වින්ග් කොමදෝරු අකිල ද අල්විස් මහතා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා වෙත අදාළ විරෝධතාව ඉදිරිපත් කිරීමෙන් පසුව විධායක සභාව වට්ස් ඇප් ඔස්සේ සාකච්ඡා කරමින් ඒ පිළිබදව සිය ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි.
පොතුපිටිය මහ විදුහල් පිටියේදී පැවැති ‘බී‘ කාණ්ඩයේ තරගාවලියේ අවසන් වටයට දිවයිනේ පළාත් 9 ක ශූරතාව දිනා ගත් කාන්තා හා පිරිමි කණ්ඩායම් සහභාගි වූහ. පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායම පිරිමි තරගාවලියේ බස්නාහිර පළාතේ ශූරතාව දිනා ගනිමින්ද හා හලාවත ෆාහිම් ජෙම්ස් කණ්ඩායම වයඹ පළාතේ ශූරතාව දිනා ගනිමින්ද අවසන් වටයට නිර්දේශ තහවුරු කර ගත්හ.
පෙබරවාරි 17 වැනිදා පැවැත්වෙන ‘බී‘ කාන්ඩයේ කාන්තා අවසන් මහ තරගය සදහා කිරිදිවැල සංඝමිත්තා කණ්ඩායම හා මහව විජයබා කණ්ඩායම නිර්දේශ ලබා සිටිති. එදින පස්වරුවේදී එහිදීම තරගමාලාවේ සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා හා පිරිමි අවසන් මහ තරගද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.