ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින තරගය මන්දාලෝක තත්වය හේතුවෙන් නතර කිරීමට විනිසුරුවන් පියවර ගැනීමත් සමග බංග්ලාදේශ ක්‍රීඩකයන් ඊට විරෝධය දක්වමින් හැසිරෙන්නට වීමෙන් පිටියේ නොසන්සුන් තත්වයක් ඇති විය.
එහිදී විනිසුරුවන්ගේ තීරණයට විරෝධය දක්වමින් ඇතැම් බංග්ලාදේශ ක්‍රීඩකයන් පිටියෙන් ඉවත්ව ගියේ සිය හිස්වැසුම්ද ගළවා ඉවතට විසිකරමිනි. බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ එම විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් තරග තීරකවරයාට පැමිණිලි කිරීමට විනිසුරුවෝ පියවර ගෙන තිබූ බව වාර්තා විය.
අදාල සිදුවීම සම්බන්ධයෙන් ඒ මොහොතේම පරීක්ෂණයක් පැවැත්වීමට තරග තීරකවරයා කටයුතු කර ඇති බවද, එම පරීක්ෂණයේදී බංග්ලාදේශ ක්‍රීඩකයන් අනිසි හැසිරීම ගැන වරද පිළිගෙන ඇති බවද එහිදී වාර්තා විය. අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විනය නීති කඩ කිරීම යටතේ තරග තීරකවරයා, බංග්ලාදේශ ක්‍රීඩකයන්ට සිවුවැනි තරගය සඳහා හිමිවන මුළු තරග ගාස්තුවම දඩ මුදලක් ලෙස ගෙවීමට නියම කර ඇතැයිද එහිදී වැඩි දුරටත් වාර්තා විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.