ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට දකුණු පළාත් ක්‍රිකට් සංගමයට සුදුසුකම් නොමැති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ හිටපු ලේකම්වරයාට නිල වශයෙන් දැනුම්දී ඇති බව වාර්තා වේ. දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ හිටපු ලේකම් සුනිල් මොහොට්ටි මහතාට එම නිවේදනය පෙරේදා (27) ලැබී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද හිමිනාමලේඛණයට තම සංගමය ඇතුළත් නොවීමට එරෙහිව එම සංගමයේ ලේකම්වරයා නිලවරණ කමිටුවට විරෝධතාවක් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ පරීක්‍ෂණය පසුගිය සෙනසුරාදා පැවැත්විණි.
මේ පිළිබඳව කළ විමසුමේදී දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ හිටපු ලේකම් සුනිල් මොහොට්ටි මහතා පැවසුවේ නිලවරණ කමිටුවේ තීරණයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට අභියාචනයක් යොමු කරන බවයි.
“දින හතක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව තියෙනවා. අපි ඒ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා”
“අපි විරෝධතාවයෙන් ඉදිරිපත් කළේ අපේ සංගමයට තහනමක් නොමැති බවටයි. තහනමක් නෑ කියලා එයාලත් කියනවා. එහෙනම් අපිට ඡන්දය හිමිවිය යුතුයි. අපේ සංගමයේ නිලවරණය ලබන දෙසැම්බර් මස 25 වැනිදා පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා” යැයි මොහොට්ටි මහතා වැඩි දුරටත් පැවසීය.
එම සංගමයේ නිලවරණ පැවැත්වීමට ගාල්ල දිස්ත්‍රික් අධිකරණය 2016 වසරේ පනවා තිබූ තහනම් නියෝගය පසුගියදා ඉවත් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.