ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයේෂ් වීරක්කොඩි මහතාගේ සේවය හිටි හැටියේම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05) පියවර ගත්තේය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (06) ආරම්භ වන ටෙස්ට් තරගයේ සේවය සඳහා ඒ මහතා ගොස් සිටියදී අද නැවත කොළඹට කැඳවා තිබේ.
ඒ මහතාගේ සේවය අත්හිටුවූ බවට ලිපියක් ලබාදී ඇති අතර එහි සේවය අත්හිටුවීමට හේතු දක්වා නොමැති බව වාර්තා වේ.
අයේෂ් මහතා පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්ධන අංශයේ ප්‍රධානියා ලෙස කැපී පෙනෙන සේවයක් කළ නිලධාරියකු වන අතර ඒ මහතා වසරකට ආසන්න කාලයක් මේ වන විට සේවය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරග පාවාදුන්නේ යැයි චෝදනා එල්ල වන සිද්ධීන් ඒ මහතා සේවයට පැමිණීමට පෙර ඒවා බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගෙන් මෙම සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් කළ විමසුමේදී පැවසුවේ අයේෂ් මහතාගේ සේවය දෙසැම්බර් මස අවසන් වන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත්ය.
“ඒ මහතාට නව දූෂණ මර්ධන ඒකකයේ සේවයට ඉල්ලීමක් කළ හැකියි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පිහිටුවන්නයි මගේ අදහස” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.