Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමති නොමනාපය

ක්‍රීඩා ඇමති නොමනාපය

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස පිටියේ දී තෙවැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමේදී  ඒ සඳහා නරඹන්නන්  සහභාගි කරවා ගැනීමට අපොහොසත්වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දොස් පවරා ඇතැයි වාර්තාවේ.

 ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් කැඳවා කරුණු විමසීම් කර තිබෙන බවත් විශාල වියදමක් දරමින් තරගාවලිය කොළඹ දී සංවිධානය කිරීමේ දී ඒ සඳහා නරඹන්නන් ක්‍රීඩාංගනයට කැඳවා ගැනීමට අපොහොසත්වීම පිළිබඳව එහිදී ක්‍රීඩා ඇමැති ෆයසිර් මුස්තාපා මහතා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන්ට සිය කණස්සල්ල පළ කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ අදහස වී ඇත්තේ කොළඹ දී පැවැති මෙම කනිෂ්ඨ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය නැරඹීම සඳහා පාසල් සිසු සිසුවියන් කැඳවා ගෙන ඒම සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමය අවධානය යොමු නොකිරීම විශාල අතපසුවීමක් බවයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ‘ලංකාදීප’යට පැවසුවේ ක්‍රීඩා ඇමති ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන්ට තරගාවලියට සහභාගි වීම සඳහා නිල වශයෙන් ආරාධනා කිරීම මග හැරීම ගැනත් එහිදී මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුකර තිබෙන බවයි.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ වියදම් අවමකර ගැනීම සඳහා මෙම තරගාවලියේ  සත්කාරයේ දී මලල ක්‍රීඩා සංගමයට යම් පාලනයක් ඇතිකර ගැනීමට සිදු වූ බවයි.

පාසල් සිසුන් තරගාවලිය නැරඹීම සඳහා සුගතදාස ක්‍රීඩාංගනයට කැඳවීමේ දී ඒ සඳහා ප්‍රවාහන පහසුකම් හා ආහාර පාන සැපයීමට සිදු වීමත් ආරාධනා පත්‍ර මුද්‍රණය කළේ නම් ඒ සඳහා ද වැයක් දැරීමට සිදුවීමත් ඇතුළු  කාරණා අවධානයට යොමු කරමින් තමන්ට වියදම් පාලනය කර ගැනීමට සිදුවූ බවත් මලල ක්‍රීඩා ප්‍රධානීන් ක්‍රීඩා අමාත්‍යාංශයට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර මලල ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තරගාවලියේ රාජකාරි කටයුතු සඳහා වාර්තා කළ නිලධාරීන් බහුතරයක් ගෙවීම් නොලබමින් ඒ සඳහා සේවය ලබාදී තිබෙන බවයි. දින දෙකක් පුරා කොළඹ සුගතදාස පිටියේ දී පැවැති තරගාවලිය නැරඹීමට ක්‍රීඩා ඇමැති ෆයසිර් මුස්තාපා මහතා පැමිණ සිටියේය. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳම ඉහළ හෝටල්වල නවාතැන් පහසුකම් සළසා නොදීම ගැනත් ඇමැතිවරයාගේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාව රන් පදක්කම් 12ක් දිනාගත් මෙම තරගාවලිය පැවැත්වෙන දින දෙකේදීම සුගතදාස පිටියේ ප්‍රේක්‍ෂකාගාර බොහොමයක් හිස්ව පැවතුණි.

 


අදහස් (0)

ක්‍රීඩා ඇමති නොමනාපය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.