කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ කළ ශ්‍රී ලංකා පුරවැසියන්ට ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දෙනු ලබන විශේෂ ඩිජිටල් (විද්‍යුත්) කාඩ්පත ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවේ. මෙම කාඩ්පත හිමිවන පළමුවැනි ශ්‍රී ලාංකික කණ්ඩායම වන්නේද ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමයි.
ඒ අනුව ජපානය බලා යන 30 දෙනකුගෙන් පමණ සමන්විත ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන්ට කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ කළ බවට නිකුත් කෙරෙන විශේෂ ඩිජිටල් කාඩ්පත සමග සහතික පත්‍රයක් බැගින් ද ලබා දේ. මෙහි විශේෂත්වය නම් මෙම ඩිජිටල් කාඩ්පත හිමි පුද්ගලයාගේ නිරවද්‍යභාවය ලෝකයේ ඕනෑම තැනක සිට කේත (QR Code) ක්‍රමය හරහා තහවුරු කරගත හැකි වීමයි.
විශේෂ ඩිජිටල් කාඩ්පතේ කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයාගේ ජීවදත්ත වලට අමතරව කොවිඩ් එන්නත් ලබාගත් දිනයන් හා ඒවායේ නිෂ්පාදන වර්ෂය ද දැක්වේ. ඩිජිටල් කාඩ්පත හඳුන්වාදීමේ වඩාත් වැදගත්කම වන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් ලොව ඕනෑම තැනක සිය දෛනික කටයුතුවල නියැලෙන ශ්‍රී ලාංකිකයන්ට එයින් ලැබෙන පිළිගැනීම හා සිය සෞඛ්‍ය කටයුතුවලට මනා පහසුවක් ලබාදීමට හැකි වීමයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය, විද්‍යුත් තාක්ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව මෙම විද්‍යුත් කාඩ්පත සකස් කර තිබේ. ක්‍රීඩා ඇමැති හා ඩිජිටල් තාක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති උත්සවයකදී නව ඩිජිටල් කාඩ්පත ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමට හඳුන්වා දෙනු ලැබිණ. එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි, එහි ලේකම් එස්.එච්. මුණසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.
කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ අයට පමණක් නව විද්‍යුත් කාඩ්පත සමග නිකුත් කෙරෙන සහතික පත්‍රය ලබා දේ.
ටෝකියෝ යන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම වෙනුවෙන් ජිම්නාස්ටික් ක්‍රීඩික මිල්කා ගෙහානිගේ කළමනාකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් කපිල ජීවන්ත මහතා එම උත්සවයයේදී පළමු කොවිඩ් එන්නත්කරණ විද්‍යුත් කාඩ්පත ඇමැති නාමල් රාජපක්ෂ මහතා අතින් ලබාගත්තේය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.