Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට
19 න් පහළ ආසියානු කුසලාන

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට

editorial - 2023 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භක පිතිකරු අෂිකුර් රහමන් ෂිබ්ලි (නොදැවී 116) ලබාගත් ශතකය නිසා අපහසුවකින් තොරවම ශ්‍රී ලංකාව ඉවතට තල්ලු කර දැමූ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ ඩුබායි නුවරදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ යොවුන් කණ්ඩායම් අතර අද (13 වැනිදා) පැවැති තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේය. 

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකිවූයේ ජපානයට එරෙහිව පැවැති තරගය පමණි. 
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 199 කට සීමා විය. ලබාගත් ලකුණු සංඛ්‍යාව ආරක්‍ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් නායකයා පන්දු යවන්නන් හත්දෙනකු උපයෝගී කරගත් නමුත් එය සාර්ථක නොවීය. 

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. එයින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල නෙළාගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා යොවුන් පිලේ කිසිම ක්‍රීඩකයකුට ලකුණු 30 සීමාවට පැමිණීමට අවසර නොදුන්හ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හත් දෙනකුම ලකුණු 20 සීමාව ඉක්මවා ගිය නමුත් ඔවුන්ගෙන් කිසිවකු ලකුණු 30 ක් ලබාගැනීමට අපොහොසත් විය. 

තරගයේ 15 වැනි ඕවරය නිමාවේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 74 ක් ලබා සිටියද ඕවර දෙකක් ඇතුළත රවිශාන් ද සිල්වා (21) සහ නායක සිනෙත් ජයවර්ධන (25) දැවීයාම නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අමාරුවේ වැටිණ. එතැන් සිට ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 116 කි. 

බංග්ලාදේශ යොවුන් පිල ජයටැඹ කරා කැඳවාගෙන ගිය අශිකුර් රහමන් ෂිබ්ලි පන්දු 130 කට මුහුණ දෙමින් ඒවායින් 11 ක් හතරේ සීමාවෙන් එපිටටත්, තවත් දෙකක් ඊට ඉහළිනුත් යැවීය. බංග්ලාදේශ මැද පෙළ පිතිකරුවන් විශාල සාර්ථකත්වයක් නොපෙන්වූ නමුත් ආරම්භක පිතිකරුවාගේ ස්ථාවරභාවය නිසාම බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ ඕවර 10 ක් පමණ ඉතිරිව තිබියදී තරගය ජයගත්හ. 

මෙම තරගාවලියේ මූලික වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ පරාජය වූ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදුවිය. ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ පාකිස්තානු සහ ඉන්දීය යොවුන් කණ්ඩායම් දෙකත් ‘බී’ කාණ්ඩයෙන් තරග කළ බංග්ලාදේශ සහ එක්සත් අරාබි එමීර් යොවුන් කණ්ඩායම් දෙකත් අවසන් පූර්ව වටයට පිවිස සිටිති. 

තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන සිකුරාදා (15 වැනිදා) පැවැත්වෙන අතර අවසන් මහ තරගය 17 වැනිදා ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 199 යි
(පුලිඳු පෙරේරා 28, රවිශාන් ද සිල්වා 21, සිනෙත් ජයවර්ධන 25, දිනුර කළුපහන 20, රූසඳ ගමගේ 24, ශාරුජන් ශන්මුගනාදන් 21, විශ්ව ළහිරු 25, රුවිශාන් පෙරේරා 19, මාරුෆ් රීධා 34/2, වාසි සිද්දික් 32/3, මහිෆුසුර් රහමන් රබී 40/2)

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම - ඕවර 40.5 කදී කඩුලු 4 ක් දැවී 204 යි
(අශිකුර් රහමන් ෂිබ්ලි නොදැවී 116, චෞදුර් මොහොමඞ් රිස්වාන් 32, අරිෆුල් ඉස්ලාම් 18, ආරාර් අමීන් 23, ගරුක සංකේත් 56/2, විශ්ව ළහිරු 24/1, මල්ෂ තරුපති 22/1)

 

(ඡායාරූප - ආසියානු ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි)

- 213


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.