Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා යොවුන් පිල ගෞරව දිනාගනී

ශ්‍රී ලංකා යොවුන් පිල ගෞරව දිනාගනී

editorial - 2019 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී්‍ර ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ බරිසාල් නුවරදී පැවැති පළමු යොවුන් ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අද (29 වැනිදා) අවසන් විය. තරගයේ සිව්වැනි සහ අවසන් දිනයවූ අද තරගය අවසන් කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 145 කට කඩුලු 6 ක් අහිමිකර ගෙන සිටියේය.

බංග්ලාදේශ යොවුන් පිල වෙනුවෙන් ඇල්වි හක් අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. පන්දු 100 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඇල්වි හක්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

මතීෂ පතිරණ ලකුණු 13 කට කඩුලු 3 ක් සහ ලක්ෂාන් ගමගේ ලකුණු 12 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. දිල්ෂාන් මධුශංක කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

තෙවැනි දිනය සඳහා ඊයේ (28) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් රැස්කර සිටි ශ්‍රී්‍ර ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අද දිනයේදී ලකුණු 331 කට කඩුලු 7 ක් දැවී සිටියදී ඉනිම අත්හිටුවීය. සොනාල් දිනූෂ, නිපුන් ධනංජය සහ දුලිත් වෙල්ලාලගේ අර්ධ ශතක ලබාගනිමින් ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. 

සොනාල් දිනූෂ පන්දු 110 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 58 ක් රැස්කළ අතර නිපුන් ධනංජය පන්දු 112 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 67 ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිම අවසන් වනවිට ලකුණු 50 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි දුලිත් වෙල්ලාලගේ පන්දු 85 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කුෂාන් වික්‍රමසිංහ ලකුණු 45 ක් සහ ලක්ෂාන් ගමගේ ලකුණු 46 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වූහ. අශ්රෆුල් ඉස්ලාම් කඩුලු 3 ක් ද අසදුල්ලා ගලීබ් සහ නෝමන් චෞද්‍රි කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

තරගයේ පළමු සහ දෙවැනි දිනයන් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවූ අතර තෙවැනි දිනය වූ ඊයේ දිනයේද ක්‍රීඩා කළ හැකි වූයේ ඕවර 36 ක් පමණි. 

දෙරට අතර දෙවැනි නිලනොවන ටෙස්ට් තරගය නොවැම්බර් 2 වැනිදා සිට 5 වැනිදා දක්වා කුල්නාහිදී පැවැත්වේ.

 

ශ්‍රී ලංකා යොවුන් පිල - කඩුලු 7 ක් දැවී 331 
(කුෂාන් වික්‍රමසිංහ 45, රවිඳු රෂාන්ත 21, සොනාල් දිනූෂ 58, නිපුන් ධනංජය 67, ලක්ෂාන් ගමගේ 46, දුලිත් වෙල්ලාලගේ නොදැවී 50, අශ්රෆුල් ඉස්ලාම් 83/3, අසදුල්ලා ගලීබ් 46/2, නෝමන් චෞද්‍රි 68/2)

බංග්ලාදේශ යොවුන් පිල - කඩුලු 6 ක් දැවී 145
(සජිද් හුසේන් 23, ප්‍රීතම් කුමාර් 28, ඇල්වි හක් 54, නයිමුර් රහ්මන් නොදැවී 26, මතීෂ පතිරණ 13/3, ලක්ෂාන් ගමගේ 12/2) 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල ගෞරව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.